ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 70.6% සිට නොවැම්බර් මාසයේදී 65.0%ක් දක්වා පහළ ගොස් තිබේ.
2021 ඔක්තෝබර් මාසයේ සිටම මෙරට උද්ධමනය ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කළ අතර, එය මේ වනවිට පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, 2022 නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 33.9%ක හා ආහාර නොවන කාණ්ඩයේ 31.0%ක දායකත්වයක් පිළිවෙළින් ලබාදී ඇති බවය.
එහෙත්, 2021 නොවැම්බර් මාසයේ 11.1%ක් වූ මතුපිට උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 7.8%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 3.3%ක් විය.
ඒ අනුව, 2021නොවැම්බර් මාසයට සාපේක්ෂව 2022 නොවැම්බර් මාසයේ උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පැවති ඉහළ මිල මට්ටමක් හේතු වී ඇත.
ආහාර කාණ්ඩය සැලකීමේදී අලුත් මාළු, සීනි, හාල්, කරවල, කුකුල්මස්, තිරිඟුපිටි, මයිසූර් පරිප්පු, පාන්, අමුමිරිස්, අලුත් පලතුරු, මිරිස්කුඩු, පොල්තෙල් සහ බිස්කට් වර්ග යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත. එහෙත් ලොකුළූණු, එළවළු, කිරිපිටි, පොල්, රතුළූණු, තේකොළ/කුඩු, බිත්තර හා ආර්තාපල් යන ආහර ද්‍රව්‍යවල මිලෙහි වැඩිවීමක් වාර්තා වී තිබේ.