ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන්ට ලබාදී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කර ඇති අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනලද ඊට අදාළ සංදේශයට අද (24දා) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, මෑත කාලයේදී ඇති වූ නියඟය හේතුවෙන් වගා කන්න 5ක් එක දිගට හානි වූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙතින් ලබාගෙන තිබූ පරිභෝජනය සඳහා නොවන ණය කපා හැරෙනු ඇත. ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්රිකක්කවල ණය ලබාගත් කාන්තාවන්ට මෙම සහනය සැලසේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචි කර ඇති මූල්‍ය ආයතන මගින් ලබාදී ඇති පාරිභෝගික නොවන ක්ෂුද්‍ර මූල්‍ය ණය මෙලෙස කපා හැරෙනු ඇත. මෙම ණය සඳහා අය විය යුතු පොලිය අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය මගින් කපා හැරිය යුතු බව මුදල් අමාත්‍යාංශය කියයි.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාදුන් රුපියල් ලක්ෂයක් දක්වා වූ ණය මුදල් මහා භාණ්ඩගාරය මගින් අදාළ ආයතන වෙත ප්‍රතිපූර්ණය කරනු ලැබේ. එම මුදල් ආපසු ගෙවීම සඳහා රුපියල් මිලියන 500ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත වෙන්කර ඇත.
මෙම ණය සහනලාභීන්ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහනාධාර වැඩසටහන යටතේ ණය ලබාගැනීමේදී ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර ඇති අතර, එම ණය ගෙවීම සඳහා වසර 2ක සහන කාලයක්ද හිමි වේ.
මීට අමරතව, සමූපකාර සමිති හරහා ක්‍රියාත්මක වන ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ වැඩසටහන්වලදීද මෙම ප්‍රතිලාභීන්ට ප්‍රමුඛතාව හිමි වනු ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ගෙයින් ගෙට ගොස් සුරැකුම් හා කොන්දේසි නොමැතිව ණය ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඔවුන් විසින් මේ සඳහා 40% සිට 220% දක්වා වාර්ෂික පොලියක් අය කරනු ලබයි. ඒ අනුව, අදාළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ඉදිරියේදී ලබාදෙනු ලබන සියලු ණය වෙනුවෙන් පොලිය 30%ක උපරිමකට යටත් කිරීමටද රජය විසින් තීරණය කර ඇත.