දිගු කලක් පුරා ප්‍රමාදවූ සහ අතීතයේ බොහෝවිට නැවත හැරවූ ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම මගින්, වර්තමානයේ පවතින සංකීර්ණ ගැටලුකාරී ආර්ථික තත්ත්වයන්හි පැහැදිලි වෙනසක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව (මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව) පසුගිය 29දා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් අමාත්‍ය එම්.යූඑම්. අලි සබ්රි මහතා වෙත පිළිගන්වමින් මෙම කරුණු අනාවරණය කළේය.
දිගු කාලීන සාර්ව ආර්ථික ස්ථායීතාවක් ඇතිකිරීම සඳහා මහ බැංකුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති ප්‍රතිපත්තිවලට අනුරූපව රජය විසින්ද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍යතාව මහ බැංකුව විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
විශේෂයෙන්ම, රජයේ ආදායම ඉහළ මට්ටමක් කරා වර්ධනය කිරීම සහ රජයේ වියදම් සීමා කිරීම හා ප්‍රමුඛතා හඳුන්වාදීම මගින් අයවැය හිඟය තිරසාර ලෙස අඩු කිරීම, ඉදිරි කාලයේදී රජයේ ණය ගැනීම් ප්‍රසාරණය අවමකර ගැනීමට උපකාරී වනු ඇතැයි පවසන මහ බැංකුව, වත්මන් ආර්ථික ගැටලුව විසඳීමට ගනු ලබන ඕනෑම ඉදිරි පියවරක් සඳහා රාජ්‍ය ණය තිරසාරභාවය සාක්ෂාත් කරගැනීම සහ පවත්වාගෙන යාම සඳහා වන පුළුල් සහ පැහැදිලි ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බවද පවසයි. ඒ අනුව, මෙම අත්‍යවශ්‍ය රාජ්‍ය මූල්‍ය වෙනස්කම් සඳහා අනෙකුත් ක්‍රියාමාර්ග ගන්නා අතරම, රාජ්‍ය යාන්ත්‍රණය තුළ යහපාලනය සහ වගවීමේ යාන්ත්‍රණ ආයතනගත කිරීම, සමස්ත රාජ්‍ය අංශයේ සැලකිය යුතු ලෙස ඵලදායීතාව වැඩිදියුණු කිරීම සහ සේවා සැපයීම, මනාව ඉලක්ක කළ සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම සහ පිරිවැය පිළිබිඹු වන මිල ව්‍යුහයන් හඳුන්වාදීම මගින් ඇතිවන මූල්‍යමය වශයෙන් ස්වාධීන සහ ස්වායත්ත රජය සතු වාණිජ ව්‍යාපාරවල සහාය ලැබිය යුතු බවද මහ බැංකුව පෙන්වා දෙයි.
එසේම රාජ්‍ය ආයතනවල මහජන වගවීම සහතික කිරීම සඳහා නීතිමය රාමු ශක්තිමත් කිරීම අවශ්‍ය වන අතරම, අදාළ බලධාරීන් විසින් ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී පවතින නෛතික බලතල ක්‍රියාත්මක කිරීම මගින් රට තුළ කල්පවත්නා ආර්ථික සුබසාධනයක් සහතික කරනු ඇති බවද මහ බැංකුව පවසයි. මෙම වෙනස්කම් මගින් පෞද්ගලික අංශයේ ඉහළ සහභාගීත්වය සහතික කෙරෙන අතර, රාජ්‍ය අංශය විසින් ආර්ථිකය තුළ පහසුකම් සපයන්නෙකුගේ භූමිකාව අඛණ්ඩව සිදුකරනු ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.
එසේම, ශ්‍රී ලංකාව දිගු කාලයක් පුරා අත්විඳිනු ලබන 'ද්විත්ව හිඟය' මගින් ගෙවුම් තුලනයේ ගැටලු සඳහා තිරසාර විසඳුම් සෙවීමේ වැදගත්කම අවධාරණය කරන මහ බැංකුව, විදේශ ජංගම ගිණුමේ හිඟය සහ අයවැය හිඟය කළමනාකරණය කළහැකි මට්ටමක් දක්වා අඩුකර ගැනීම ඉලක්ක කර ගනිමින් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව සකස් කෙරෙන, වෙනස්වන දේශපාලන පාලන තන්ත්රයන්ගේ බලපෑමෙන් නිදහස් ජාතික ප්‍රතිපත්ති, මෙම ප්රයත්නයේදී අත්‍යවශ්‍ය බව පවසයි. තවද ගෙවුම් තුලනයේ විදේශ ණය මූල්‍යකරණය සඳහා වූ අවශ්‍යතාව අඩු කරන අතරම, විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා වෙනත් ණය නොවන විදේශ විනිමය ඉපැයීමේ මූලාශ්‍ර වෙත අවධාණය යොමුකළ යුතු බවද පෙන්වා දෙයි.
රටේ සාර්ව ආර්ථික ස්ථායීතාව, සමජ සහජීවනය සහ දේශපාලන ස්ථාවරත්වය එකිනෙක හා සම්බන්ධ වී ඇති ආකාරය සහ එක් එක් අංශ මත අනෙක් අංශයෙන් සිදුවන බලපෑම මෑතකාලීනව ශ්‍රී ලංකාව විසින් මුහුණදෙනු ලබන සිදුවීම්වලින් පෙන්නුම් කරන බවද මහ බැංකුව කියයි. ඒ අනුව, ආර්ථික අස්ථාවරත්වය, සමාජ නොසන්සුන්තාව සහ දේශපාලන අස්ථාවරත්වය යන දැනට පවත්නා ගැටලු ත්‍රිත්වය සඳහා වන සමස්ත විසඳුම ලෙස, ශ්‍රී ලංකා ආර්ථිකය නැවත පණ ගන්වා නව මානයකට ගෙනඒමට මෙම සියලු අංශ ආවරණය කළ යුතු බව මහ බැංකුව අවධාරණය කරයි. ණය වගකීම් ක්‍රමානුකූලව සහ එකඟතාවකින් යුතුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විදේශීය ණය සේවාකරණ ගෙවීම් යම් කාලසීමාවක් සඳහා අත්හිටුවීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආර්ථික ගැලපුම් වැඩසටහනක් කරා එලැඹීම, රජයේ වියදම් අඩු කිරීම සහ රජයේ ආදායම් ඉහළ නැංවීම සඳහා කැපවීම සහ නොබැඳි දේශපාලන හා ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම ආදී ආර්ථික ගැටලු විසඳා ගැනීමට දරණ අඛණ්ඩ උත්සාහය මගින් ඉදිරි කාලයේදී සාර්ව ආර්ථික ස්ථායීතාව නැවත ළඟාකර ගැනීමට මහ බැංකුව අපේක්ෂා කරයි. එහිදී, සමාජ සහජීවනය නැවත සහතික කිරීම සහ දේශපාලන ස්ථාවරත්වය නැවත ස්ථාපිත කිරීම මෙන්ම, අඛණ්ඩ දේශපාලනික සහයෝගය මත මෙම ප්‍රයත්නවල සමස්ත සාර්ථකත්වය පවතින අතර, එය මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.