මහ බැංකුව ලෙස දේශපාලනයෙන් තොරව තීන්දු තීරණ ගත්තද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන කටයුතු, දේශපාලන ගැටුම්, ජනතාවගේ හැඟීම්, මාධ්‍යයේ ලියන දේවල්ද බලපෑ හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳව දැනුම්දීම වෙනුවෙන් අද (04දා) දහවල් මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"මුදල් අමාත්‍යවරයා සහ මා අතර ඝට්ඨනයක් නැහැ. මහ බැංකුව ලෙස අපේ මතය සහ රටට කළ යුතු දේවල් කිසිම දේශපාලනයකින් තොරව හෙළිදරව් කර තිබෙනවා. අපිට වගකීම තියෙනවා උපදෙස් දෙන්න, අපි ඒක කරනවා. මහ බැංකුව ලෙස රජය වෙත නිර්දේශ කරන යෝජනා සලකා බලන ලෙස රජයට උනන්දු කරවනවා. ඒ ගැන රජයට මෙන්ම ජනතාවටත් කියනවා. මේවා දේශපාලන ඉල්ලීම් නොවෙයි, මේවා තාක්ෂණික ඉල්ලීම්. ඒවා ක්‍රියාත්මක කිරීම රජය විසින් කළ යුතුයි." යැයි පවසා සිටියේය.
මහ බැංකුව විසින් නිර්දේශ කරන ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මක වීමට ලැබෙන සහයෝගය ගැන තෘප්තිමත්දැයි යනුවෙන් අධිපතිවරයා වෙත තවත් පැනයක් යොමුවිය.
"මා කලින් සඳහන් කළ ආකාරයටම, මහ බැංකුව ලෙස අප තීන්දු තීරණ ප්‍රකාශ කරන්නේ දේශපාලනයෙන් තොරවයි. නමුත් මේවා ක්‍රියාත්මක කරද්දී දේශපාලන කටයුතු, දේශපාලන ගැටුම්, ජනතාවගේ හැඟීම්, ඔබ තුමන්ලා (මාධ්‍ය) ලියන දේවල් සමහර විට බලපාන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ තුමන්ලාගේ (මාධ්‍යයේ) සහයෝගයත් අප මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. මේවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාම බැහැයි කියා කීවොත්, මේවා ක්‍රියාත්මක කිරීමට අපහසුයි. ඒ නිසා දේශපාලනයේ පමණක් නොවෙයි, මාධ්‍යයේත් සහයෝගය අවශ්‍යයි. අපි මේවා කොහොමද කරන්නෙ, මෙච්චර ප්‍රශ්න එනවා කියලා කිව්වාම ඒකෙනුත් යම් බලපෑමක් එනවා. එතනදි දේශපාලඥයනුත් යම් පැකිලීමක් දක්වන්නට පුළුවන්. මේ ඉල්ලීම කරන්නේ රට වෙනුවෙන්. දේශපාලඥයන් පමණක් නොවෙයි, සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතුයි." මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
"මුදල් අමාත්‍යවරයා සමග මා බොහොම සුහදව කටයුතු කරනවා. නමුත් ප්‍රතිපත්තිමය තීරණ මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට මහ බැංකුව ලෙස අපිටත් යම්කිසි වගකීමක් තියෙනවා. ඒ පිළිබඳව රජය වෙත දැනුම්දීම අපේ වගකීමක්. මුදල් මණ්ඩලයේ සභාපති සහ අධිපති හැටියටත් ඒ වගකීම තියෙනවා. ඒ දෙස විවිධ අය බලාගෙන ඉඳිමින්, එය විවිධ ආකාරයට අර්ථ කථනය කරන්න පුළුවන්. ඒ වුණාට ඒ වගකීම අපි ඉටුකරනවා." අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.