ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අවපාතයට මුහුණදී සිටින බව තවදුරටත් පෙන්නුම් කරමින්, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුවද ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍ර වේගයකින් අවප්‍රමාණය වෙමින් තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18දා) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.334.99ක් ලෙසත්, ඩොලරයේ ගැනුම් මිල රු.322.72ක් ලෙසත් සටහන් විය.
ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසන බවට මහ බැංකුව පසුගිය මාර්තු 07දා නිවේදනය කරද්දී ඩොලරයේ විකුණුම් මිල රු.202.99ක් ලෙසත්, ඩොලරයේ ගැනුම් මිල රු.198.50ක් ලෙසත් පැවතුණි.
මේ අතර, ඊයේ දිනයේදී ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රු.438.67ක් සහ ගැනුම් මිල රු.423.68ක් ලෙසත්, ජපන් යෙන් විකුණුම් මිල රු.2.66ක් සහ ගැනුම් මිල රු.2.56ක් ලෙසත්, යූරෝ විකුණුම් මිල රු.365.04ක් සහ ගැනුම් මිල රු.353.30ක් ලෙසත් කොළඹ පිහිටි වාණිජ බැංකු සපයන ලද විදේශ ව්‍යවහාර මුදල්වල සාමාන්‍ය අනුපාතයන් දක්වමින් මහ බැංකුව නිවේදනය කර තිබේ.
මීට අමතරව, ඊයේ මෙරට රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු කිහිපයකම සිය දෛනික විනිමය අනුපාතිකයේදී එ.ජ.ඩොලරයක විකුණුම් මිල රු.335 සිට 340ක් දක්වා වූ සීමාවක පැවතුණි.