GIZ , කොකා-කෝලා ශ්‍රී ලංකා (CCBSL) සහ කොකා-කෝලා පදනම, නෙස්ලේ, යුනිලිවර් සහ පළාත් පාලන ආයතන සමඟ එක්ව අපද්‍රව්‍යවලින් වටිනාකමක් නිර්මාණය කිරීමට කටයුතු කරයි.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යනු සුවිසල් අභියෝගයකි. ඒ බව මනාව හඳුනාගෙන ඇති Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ), කොකා-කෝලා ශ්‍රී ලංකා (CCBSL) සහ කොකා-කෝලා පදනම, නෙස්ලේ සහ යුනිලිවර් යන ශ්‍රී ලංකාවේ විශාලතම FMCG සමාගම් සමඟ එක්ව තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කර ඇත.
‘Waste to Value’ ලෙස නම් කර ඇති එම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම හා භාවිතයට නොගත් අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමයි. පරිසරයට බැහැර කරනු ලබන ප්ලාස්ටික් අපද්‍රව්‍යවල ඇති ආර්ථික වටිනාකම පිළිබඳව දැනුවත් කිරීම තුළින් වක්‍ර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමේ චර්යාත්මක වෙනසක් ඇති කළ හැකිය. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ව්‍යාපෘතියක් වන මේ තුළින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය හා ඒවා තුළින් නව නිර්මාණ සිදු කිරීම සඳහා වන යටිතල පහසුකම් වැඩි දියුණු කරමින් ජීවනෝපාය හා පාරිසරික සුරක්ෂිතතාව ඉහළ නැංවීමටද බලාපොරොත්තු වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ආර්ථික සහයෝගීතා සහ සංවර්ධනය සඳහා වන ජර්මානු පෙඩරල් අමාත්‍යාංශය විසින් සිය develoPPP වැඩසටහන යටතේ අරමදුල් සපයනු ලබයි. එහිදී සිය ව්‍යාපෘති හවුල්කරුවන් සමඟ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ හවුල්කර ගනිමින් අදියර දෙකක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට GIZ කටයුතු කර ඇත. 2022 දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන තුළින් එකතු කරන ලද ප්ලාස්ටික් ප්‍රමාණය, ඉඩ කඩ සහ වෙන්කර ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව හා බස්නාහිර පළාතේ ප්ලාස්ටික් අපද්‍රව්‍යන්හි තත්වය අවබෝධ කර ගැනීම සඳහා මූලික සමීක්ෂණයක් පවත්වන ලදී.
එම සමීක්ෂණය තුළින් ලද තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව ව්‍යාපෘතිය සඳහා පළාත් පාලන ආයතන 9ක් තෝරා ගන්නා ලදී. ඒ අනුව පළමු අදියර ලෙස ප්‍රමාණවත් ඉඩකඩ සහිත ගම්පහ ප්‍රාදේශීය සභාව, හෝමාගම ප්‍රාදේශීය සභාව සහ කැස්බෑව නගර සභාව තෝරා ගත් අතර එම පළාත් පාලන ආයතනයන්හි ප්ලාස්ටික් හා අනෙකුත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ප්‍රතිසාධන පහසුකම් ස්ථාපිත කරන කිරීමට නියමිතය. දෙවන අදියර ලෙස ප්‍රතිසාධන පහසුකම් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැති පළාත් පාලන ආයතන 5ක පදිංචිකරුවන් නිවාස මට්ටමින් අපද්‍රව්‍ය වෙන් කිරීමට දිරිමත් කරමින් ව්‍යාපෘතියට එක් කිරීමට කටයුතු යොදා ඇත. මෙම ප්‍රතිසාධන පහසුකම් පිහිටුවීමට අමතරව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නන් දිරිගැන්වීම සඳහා යෝජනා සකස් කිරීම හා වගකීමෙන් යුතුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම තුළින් තෝරාගත් ප්‍රදේශයන්හි ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩපිලිවෙල ශක්තිමත් කිරීමද ව්‍යාපෘතියේ අරමුණක් වේ. තවද ව්‍යවසායකයින් හා අනෙකුත් පාර්ශවකරුවන් වෙනුවෙන් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පුළුල් පුහුණු හා සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමුව තිබීම විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් GIZ කොකා-කෝලා ශ්‍රී ලංකා (CCBSL) සහ කොකා-කෝලා පදනම, නෙස්ලේ සහ යුනිලිවර් සඳහන් කරන්නේ “අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවට හා එහි ජනතාවට තිරසාර හා ශක්තිමත් හෙට දවසක් නිර්මාණය කිරීමටයි. මේ සඳහා එක් පියවරක් ලෙස අපද්‍රව්‍ය නිර්මාණකරුවන්ගේ සිට ඒවා එකතු කරන්නන් සහ සැලසුම්කරුවන් දක්වා අගය දාමයේ සෑම පාර්ශවකරුවකු සමඟ එක් වෙමින් තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට අපි කටයුතු කරනවා. අපද්‍රව්‍ය ලෙස පරිසරයට එකතුවන ප්ලාස්ටික්වල ආර්ථික වටිනාකමක් ඇති අතර මේවා ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් වක්‍ර ආර්ථිකය දියුණු කිරීමට මෙන්ම පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීමටද හැකියාව උදා වනවා.” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා “අවසානය දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු නාගරික ඝන අපද්‍රව්‍යයන්ගෙන් 60%ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පරිසරයට එකතු වනවා. මෙම ව්‍යාපෘතිය දිවයිනේ අනෙකුත් පළාත්වලටද යොදා ගත හැකි කාර්යක්ෂම අපද්‍රව්‍ය කළමනාකරණ ආකෘතියක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. එසේම මේ වෙනුවෙන් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයේ කැපවීම අගය කරන අතර එම හවුල්කාරීත්වය තුළින් අපද්‍රව්‍ය කළමනාකරණයේදී අප මුහුණදෙන සැලකිය යුතු අභියෝගයන් විසඳා ගැනීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටත් අපි අපේක්ෂා කරනවා” යනුවෙන් පැවසීය.