කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (29දා) ඒකක 51.49ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනය අවසානයේදී ඒකක 5,936.30ක් ලෙස සටහන් විය.
මෙම සතියේ මුල් දින දෙක තුළ සියලු කොටස් මිල දර්ශකය පිළිවෙලින් ඒකක 56.66ක් සහ 49.82ක් බැගින් පහළ ගොස් තිබූ පසුබිමක මෙලෙස මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වීමද විශේෂත්වයකි.
මේ අතර S&P SL20 දර්ශකය ඊයේ දින ඒකක 21කින් ඉහළ ගොස් ඒකක 2,838.73ක් ලෙසින් සටහන් විය.
මේ අතර කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය සීමවා ඉක්මවා වාර්තා වීමද ඊයේ දින කැපීපෙනෙන සිදුවීමක් වූ අතර, එය රු. බිලියන 1.11ක් ලෙසින් සටහන් විය. මෙහිදී රු.මිලියන 726ක විදේශීය විකිණුම් වාර්තා වීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් විදේශීය මිලදී ගැනීම් රු.මිලියන 24.86ක් තරම් පහළ අගයයක් විය. මෙසේ ඊයේ දින මිල දර්ශකවල ඉහළ යාම කෙරෙහි, CTC, ඩිස්ටිලරීස් ලංකා, LOLC, කාගිල්ස් හා සම්පත් බැංකුව වැඩි දැයකත්වයක් ලබාදී ඇත.