COVID-19 වසංගතය පසුගිය මාස කිහිපය පුරා ලෝකය තුළ මිලියන ගණනින් ආසාදිතයන් බිහිකර, ලක්ෂ ගණනින් ජීවිත බිලි ගනිමින් සිටින්නේ, ලෝකයේ සෑම ආර්ථිකයක්ම පාහේ බංකොලොත්භාවය, ජීවනෝපායන් අහිමිවීම, ඉතිරිකිරීම් වාශ්පවීම, ණය පැහැර හැරීම, ආයතන කඩාවැටීම සහ විශ්වාසභංගත්වය පමණක්ම වපුරමිනි.
අප ශ්‍රී ලංකාව දෙසට හැරී බැලුවොත් සෞඛ්‍යමය කෝණයකින් බැලීමේදී COVID-19 වසංගතයට සාර්ථකව මුහුණදුන් රටක් ලෙස ශ්‍රී ලංකාව ගෞරවයක් ලබා ඇත. ආර්ථික කෝණයකින් විග්රහ කිරීමේදී ප්‍රායෝගික සැලැස්මක් හරහා පවතින ආර්ථික අභියෝගයන්ද නිසි ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවක් දැන් පවතී.
ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාත්මක වෙමින් පවතින සාමන්‍ය කටයුතු හැරෙන්නට ඉදිරි මාස කිහිපය තුළදී දියත් කිරීමට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි. ඒවා සාර්ථකව සහ නිවැරදිව දියත් කිරීමෙන් රට සහ ආර්ථිකය නැවත සංවර්ධන මාවතකට යොමු කිරීමට හැකිවනු ඇතැයි යන්න ඒ මහතාගේ අපේක්ෂාවයි. එම යෝජිත ක්‍රියාමාර්ගයන් මෙසේය,
(1.) විවිධ රටවල මුදල් ඒකකවල වටිනාකම ස්ථාවර කිරීම සහ ජාත්‍යන්තර ගනුදෙනු සහ ආර්ථික ක්‍රියාවලීන් අඛණ්ඩව සිදුකිරීම පිණිස, එලැඹෙන වසර දෙක තුළදී යම් රටක් විසින් ආපසු ගෙවීමට තිබෙන ණය වාරික සහ පොලිය එම කාලය තුළ කල් දමා ගැනීමට සියලු නැගී එන රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට ඉල්ලීම් කර ඇත. මෙය ගෝලීය අර්බුදයක් බැවින් එකී ආයතන විසින්ද යම් සහයෝගය පළ කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව ඉදිරි කාලයේදී සකස් කිරීමට නියමිත ගෝලීය ප්‍රතිචාරය ශ්‍රී ලංකාවට වාසිදායක වන ආකාරයට සකස් කර ගැනීමට ශ්‍රී ලංකාවද උනන්දු විය යුතුය.
(2.) ඉහත කී ආකාරයට ණය විරාමයක් ලබා ගන්නට හැකි වූයේ නම්, ඒ හරහා දැවැන්ත මුදලක් ශ්‍රී ලංකාවේම ඉතිරි වනු ඇත. එලෙස ඉතිරි වන මුදල පාවිච්චි කරමින් 'සමාගම් රැකගැනීමේ සහ නැවත පුනර්ජීවන කිරීමේ අරමුදලක්' සහ 'COVID-19 ව්‍යසනයෙන් දුර්වල වූ ජන කොටස්වලට සහන ලබාදීමේ අරමුදලක්' රට තුළ පිහිට විය යුතුය. ඒ වෙනුවෙන් රු.බිලියන 500ක පමණ මුදලක්වත් වෙන් කිරීම ඉලක්ක කළ හැකිය.
(3.) වසංගතයෙන් පීඩාවට පත්ව ඇති සමාගම් නැවත ප්‍රතිසංවිධානය කිරීමට රු.බිලියන 200ක පමණ ප්‍රාග්ධන අරමුදලක් (Equity Fund) ස්ථාපනය කළ යුතුය. එවැනි අරමුදලක් ඒකරාශී කර ගැනීමට ලෝකයේ ප්‍රාග්ධන අරමුදල් ඉලක්ක කරමින් ප්‍රවර්ධන කටයුතුවල වහා නිරත විය යුතුය. ඒ අතරම එම ආයෝජන ලබාගැනීමට සුදුසුකම් ඇති, පීඩාවට-පත් ව්‍යාපාරවලට එම අරමුදලෙන් ලබාගත හැකි වන ආයෝජනයේ කොටසක් තමන් ණය රැගෙන ඇති මූල්‍ය ආයතනවලට ගෙවීමටද කටයුතු සැලැස්විය යුතුය. එම සමාගම් මෙන්ම, ඒවාට ණය ලබාදුන් මූල්‍ය ආයතනවල මූල්‍යමය ශක්තියද මේ ක්‍රියාවලිය තුළින් වර්ධනය වනු ඇත.
(4.) නව නිපැයුම් සහ දැනටමත් ක්‍රියාත්මක වන නැගී එන ව්‍යාපාර සඳහා 'අන්තරායකාරී ප්‍රාග්ධන අරමුදලක්' (Venture Capital Fund) හරහා රු.බිලියන 200ක පමණ (ඇ.ඩො.මිලියන 1,000ක) 'ආරම්භක ප්‍රාග්ධන අරමුදලක්' (Seed Capital Fund) ස්ථාපනය කළ යුතුය. එසේ කිරීමෙන් නව ව්‍යාපාරිකයන් බිහි කෙරෙන අතරම, නව ජීවනෝපායන් රැසක්ද ආර්ථිකය තුළ බිහිවනු ඇත. ඒ හරහා සමස්ත ආර්ථිකයටම නව උත්තේජනයක් සහ ජවයක් ලැබෙනු ඇත.
(5.) ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් වෙනුවෙන් නව ආයෝජන ඇ.ඩො.මිලියන 3,000ක් පමණ (රු.බිලියන 570ක් පමණ) ආකර්ශණය කර ගැනීමට ගෝලීය ප්‍රවර්ධන උත්සාහයක් රජය දියත් කළ යුතුය. අද වනවිට ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල විදේශීය ආයෝජනය ඇ.ඩො.මිලියන 120ක පමණ අගයකට අඩුවී තිබුණද, 2014 දී එම ආයෝජනය ඇ.ඩො.මිලියන 3,400ක පමණ වූ බව අප මතක තබාගත යුතුය. මෙසේ විදේශ විනිමය නැවත රට තුළට ගලා ඒමට හැකි වුවහොත්, ශ්‍රී ලංකා රුපියලේ අගය සාර්ථක මට්ටමක පවත්වාගෙන යාමටද හැකි වනු ඇත.
(6.) 2020 නොවැම්බර් සිට 2021 මාර්තු අතර ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ චීනය වැනි දියුණු රටවල ශීත සෘතුව ඉලක්ක කරමින් එම රටවල වැඩිහිටි ප්‍රජාව සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව දියත් කළ යුතුය. මෙහිදී වැඩිහිටි සංචාරකයන්ට ලබාදිය යුතු පණිවුඩය විය යුත්තේ COVID-19 වසංගතයට සාර්ථකව මුහුණ දුන් උෂ්ණත්වයෙන් වැඩි රටක් වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරය කොට දින 100ක පමණ කාලයක් මෙහි ගතකරමින්, තමන්ගේ ජීවිත අවදානම සැලකිය යුතු ආකාරයකට අවම කර ගත හැකි බවය. එසේම සෑම විදේශ සංචාරකයෙකු සඳහා COVID-19 ආවරණය වන ලෙස ඇ.ඩොලර් 50,000ක රක්ෂණයක් ලබාදීමෙන් එම සංචාරකයන්ට අප රට කෙරෙහි විශ්වසනීය බවක් ලබාදිය යුතුය.
(7.) ශ්‍රී ලංකාව තුළට විවිධ බෝග, භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම හරහා ඒවා සඳහා වෙළෙඳ පොළක් ශ්‍රී ලංකාවේ ඇති බව දැනටමත් තහවුරු වී ඇත. එසේ නම්, එම කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා සඳහා ශ්‍රී ලංකා ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා ඉලක්කගත 'ආනයන-ආදේශන' (Import-Substitution) උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළ යුතුය. විදේශ විනිමය ප්රශ්නය වෙනුවෙන් වඩාත් සුදුසු විසඳුම 'ආනයන සීමා කිරීම' (Import-Restriction) නොව, 'ආනයන ආදේශනය' බව අප මතක තබාගත යුතුය. මේ උපායමාර්ගය සාර්ථකව ක්‍රියාවට නැංවීමට වසර 3 සිට 5ක පමණ කාලයක් ගතවිය හැකි අතර, එමගින් ශ්‍රී ලංකා සමාගම්වලට වාර්ෂිකව අමතර රු.බිලියන 1,000ක (ඇ.ඩො.බිලියන 5ක) පමණ ස්ථාවර ආදායමක් ඇස්තමේන්තු කළ හැකිය. මෙවනි ව්‍යාපාරවලට මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා රජය විසින් මූල්‍ය ආයතන දිරිමත් කළ යුතු අතර, එසේ කටයුතු කරන ව්‍යවසායකයන් සඳහා බදු දිරිගැන්වීම්ද ලබාදිය යුතුය.
(8.) දැනට ජීවත්වීමේ අරගලයට සහ තමන්ගේ ණය ගෙවා ගැනීමේ දැවැන්ත අර්බුධවලට මුහුණදී සිටින මිලියන 2.6ක් පමණ වූ සේවක අර්ථසාධක අරමුදල (EPF)සාමාජිකයන්ට නව 'ජීවන බලාපොරොත්තුවක්' ලැබෙන ආකාරයට, තමන්ගේ සේවක අර්ථසාධක අරමුදලේ ශේෂයෙන් 20%ක් එහි සාමාජිකයන් හට ඍජුවම ආපසු ලබාදිය යුතුය. එම ක්‍රියාවලිය තුළින් රු.බිලියන 2,500කට අධික සේවක අර්ථසාධක අරමුදලෙන්, රු.බිලියන 500ක පමණ මුදලක් සාමාජිකයන් හරහා ආර්ථිකයට මුදා හැරෙනු ඇත. එය සමස්ත ආර්ථිකයටද ප්‍රයෝජනවත් උත්තේජකයක් වනු ඇත. මෙම උපායමාර්ගික අදහස 2020 මාර්තු මස අග භාගයේදී හිටපු අධිපතිවරයා ප්‍රකාශ කළ අතර, මෙය දැනට ඔස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ ක්‍රියාත්මක කොට ඇත.
COVID-19 වසංගතයට පසුව සිදුකරනු ලබන සාමූහික මැදිහත්වීම් යම් රටක ආර්ථිකයක දළ දේශීය නිශ්පාදිතයෙන් 10%ක්වත් නොවූවොත් ඒවායින් නිසි ඵලයක් ලබාගත නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන් විටින් විට පවසා ඇත. ඒ අනුව රු.බිලියන 15,000ක පමණ දළ දේශීය නිෂ්පාදිතයක් ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකයකට හිතකර බලපෑමක් කරන්නට අවම වශයෙන් රු.බිලියන 1,500ක් පමණ මැදිහත්වීම් මාලාවක් දියත් කළ යුතු බව අප මතක තබාගත යුතුය. ඊට වඩා අඩු වටිනාකමක් ඇති තාවකාලික පැලැස්තර හෝ සාම්ප්‍රදායික මැදිහත්වීම්වලින් ආර්ථිකයට සැලකිය යුතු උත්තේජනයක් ලබාගත හැකි යැයි අපට බලාපොරොත්තු වීම අපහසුය.
තවද 'ණය මත ණය පැටවීම' මගින් අර්බුධයට ලක්ව ඇති ණය ගැතියන්ට තිරසාර සහනයක් නොලැබෙන බව අප අමතක නොකළ යුතුය. බැංකු හා මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරිත්වයට බලපෑමක් නොකරන තාවකාලික ණය වාරික අත්හිටුවීමක් කෙටි කාලීන සහනයක් වුවද, එය දිගු කාලීන විසඳුමක් නොවනු ඇත. දිගු කාලීන විසඳුම් ලබාගත හැක්කේ ඉහත සඳහන් 'කළ යුතු දෑ' ලැයිස්තුවේ (To-do-list) දක්වා ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් බවද සැලකිය යුතුය. එමෙන්ම ඉහත සඳහන් කොට ඇති සියලු මැදිහත්වීම් එකවර සිදුකළ යුතු බවද අප මෙහිදී අවධාරණය කළ යුතුය. ඒ අනුව එක් මැදිහත් වීමක් තවත් මැදිහත් වීමක් පසුපස අනුගමනය කිරීම නොව, ඉහත කී සියලුම මැදිහත්වීම් එකවර ක්‍රියාත්මක කළ යුතුය.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව මුහුණදී ඇති අවදානම ඉතා බරපතල බැවින්, එම අවදානමට මුහුණදෙන විට, අප විසින් අත්වැරැද්දක් සිදු නොවීමට වගබලාගත යුතුය. එසේ වුවහොත් එම අතපසුවීමේ ප්‍රතිවිපාක දරුණු විය හැකි අතර, සමස්ත ආර්ථිකයේම පැවැත්මද අවදානමට ලක්විය හැකිය. ඒ අනුව, වර්තමාන අභියෝගාත්මක අවස්ථාවේදී පැරණි යල්පැන ගිය අදහස් මත විශ්වාසය නොතබා, නැවුම් ක්‍රියාමාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව ගමන් කළ යුතුය.
ඒ අතරම, මෙම COVID-19 පසු ආර්ථික පුනර්ජීවනය සඳහා දැනුම සහ පලපුරුද්ද සහිත, මහඟු කැපවීමකින් යුතු පුද්ගලයෙකුගේ මඟපෙන්වීම යටතේ දක්ෂ කණ්ඩායමක් මෙම සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුය. එම කණ්ඩායමට 'රාමුවෙන් පිට' (Out-of the-box) සිතීමේ හැකියාව තිබිය යුතු අතර, පුළුල් සැලසුමක් ඔස්සේ තීරණ ගැනීමට ප්‍රතිපත්තිමය අවකාශයක්ද ලබාදිය යුතුය. එසේ කිරීමෙන් අප රට නැවතත් ස්ථායීභාවය සහ වර්ධනය කරා ගෙනයාමට හැකි වනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය.