සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම, ආසාදන වැළැක්වීම සහ පාලන සහාය ඇතිව වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ඩොලර් මිලියන 1.3ක ආධාර ශ්‍රී ලංකාව වෙත පිරිනමන බව කියයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසා සිටියේ, "ඉතා දුෂ්කර කාලවලදී පවා ඇමෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් හවුල්කරුවන් සහ මිතුරන් ලෙස එකිනෙකාට සහයෝගය දැක්වූවා. මේ පරිත්‍යාගය මගින් පිළිබිඹු වන්නේ ගෝලීය වසංගතය හමුවේ පවා ඔරොත්තු දෙන අපගේ කල් පවත්නා සම්බන්ධතාවයයි. අතීතයේදී මෙන්ම, දැන් කොවිඩ්-19 සටන් කිරීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා උපරිම සහාය ලබාදීම ගැන අප ආඩම්බර වෙනවා" යනුවෙනි.
ආසාදිත සිද්ධි සෙවීම සහ සිදුවීම් පදනම් කරගත් නිරීක්ෂණ, ප්‍රතිචාර සහ සූදානම සඳහා තාක්ෂණික විශේෂඥයන්, අවදානම් සන්නිවේදනය, ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම සහ තවත් බොහෝ දේ සඳහා අරමුදල් සැපයීම මඟින් ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව පවසන තානාපති කාර්යාලය, මීට අමතරව, මහා පරිමාණ කොවිඩ්-19 පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවේ රසායනාගාර පද්ධති සකස් කිරීමට එක්සත් ජනපදය සහාය වනු ඇති බවද කියයි. ආධාර සඳහා අතිරේක ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධීකරණය කරන බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.