සේවක අර්ථසාධක අරමුදල (EPF) පසුගිය සමයේදී කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනයට සූදානමින් සිටියත්, ප්‍රමාණවත් පරිදි විශාල කොටස් පරිමාණ වෙළෙඳ පොළ තුළ නොතිබූ බැවින් එම අවස්ථාව මඟ හැරී ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය නොකර සිටීම පිළිබඳ තීරණයක් අරමුදල විසින් ගෙන නොමැති බව හෙතෙම පවසා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේදී ඊයේ (30දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධිපතිවරයා,
"බැංකු සමාගම්වල ආයෝජනය කිරීමේ දී මිල දී ගත හැකි උපරිම කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් සීමාවන් පවතින බැවින් සේවක අර්ථසාධක අරමුදල වර්තමානයේ දී බැංකු අංශයේ කොටස්වල සක්‍රීය වශයෙන් ආයෝජනය කරන්නේ නැහැ. බැංකු අංශයේ සමාගම්වල ආයෝජනයේ දී සීමාකම් තිබෙනවා. මේ වනවිට එම නිරාවරණය විශාලයි. මේ නිසා බැංකු අංශයේ ආයෝජනය කිරීමේදී අපි ඉතා කල්පනාකාරී වෙනවා. බැංකු අංශයේ සමාගම් කොටස්වල ආයෝජනය කිරීම ආයෝජන කමිටුව විසින් ගත යුතු තීරණයක්. ආයෝජන කිරීමේදී දැනටමත් අපිට ආයෝජන ප්‍රතිපත්තියක් තිබෙනවා. එය අභ්‍යන්තරික දෙයක්. ඒ පිළිබඳ ඇතැම් මාර්ගෝපදේශ තිබෙනවා. වෙබ් අඩවියට ගොස් ඔබට ඒවා බලන්න පුළුවන්."
මේ අතර පසුගිය කාර්තුව තුළදී සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ කිසිදු ගනුදෙනුවක් සිදුකර නොමැති බවට නැගුණු පැනයකට ප්‍රතිචාර දක්වමින් කරුණාරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
"අර්ථසාධක අරමුදල පසුගිය කාර්තුව තුළත් කොටස් වෙළෙඳ පොළට අවතීර්ණ වී සිටියා. නමුත් අරමුදලට ඇතැම් තෝරාගත් කොටස් මිලදී ගැනීමට අවශ්‍යතාවය තිබුණත්, ඊට ගැලපෙන ප්‍රමාණවත් කොටස් පරිමාණ අලෙවියට සූදානම් වෙලා තිබුණේ නැහැ. අපි වෙළෙඳ පොළේ සිටියේ නැති බව ඉන් අදහස් වන්නේ නැහැ. අපිට අපේ ප්‍රතිපත්ති, මූලධර්ම හා උපක්‍රම තිබෙනවා. අපි කටයුතු කරන්නේ ඒවාට අනුකූලවයි. ආයෝජන කමිටුවේ උපදෙස් පරිදි දැනට අලාභ ලබා තිබෙන කොටස් ආයෝජන සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා." හෙතෙම වැඩිදුරටත් පැවසීය.