ලොව විශාලතම කිරි නිෂ්පාදකයා ලෙස සැලකෙන ඉන්දියාව, කිරි සහ කිරි නිෂ්පාදන ශ්‍රී ලංකාවට සැපයීම සඳහා අවබෝධතා ගිවිසුම් තුනක් ශ්‍රී ලංකා රජය සමග අත්සන් කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර සමුපකාර වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භයට සමගාමීව මෙම අවබොධතා ගිවිසුම්වලට එලැඹීම සිදුව ඇත.
ඉන්දියාවේ ජාතික සමුපකාර සංවර්ධන සංස්ථාවේ (NCDC) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉන්දීය මාධ්‍ය වෙත මෙම කරුණු අනාවරණය කර ඇති අතර, ඉන්දියාවෙන් කිරි මිලදී ගැනීමට උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා රජය සමග අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බව හෙතෙම පවසා සිටියද, එසේ මිලදී ගැනීමට යන ප්‍රමාණයන් හෝ මිල ගණන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර නොමැත.
ඒ අනුව, 'Aavin' සන්නාමය හිමි තමිල්නාඩු කිරි සමුපකාර සම්මේලනය, 'PonLait' සන්නාමය හිමි පුදුචෙරි කිරි සමුපකාර සම්මේලනය සහ ඉන්දියානු Potash සමාගම කිරි සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය සමග වෙනම ගිවිසුමක් අත්සන් කර තිබේ.
මිලියන 70ක් පමණ නිෂ්පාදකයන් සිටින ලොව විශාලතම කිරි නිපදවන රට ඉන්දියාව වන අතර, මේ වසරේ එරට කිරි නිෂ්පාදනය ලීටර් බිලියන 175ක් දක්වා ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. එය ලොව දෙවැනි විශාලතම කිරි නිපදවන රට වන එක්සත් ජනපදය නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්නය.