නියඟය පැවති දිස්ත්‍රික්ක 12ක ක්ෂුද්‍ර ණය උගුල්වලට හසුවූ කාන්තාවන් 75,000කගේ ණය මුදල් අගෝස්තු 01දා සිට කපා හරිමින් සහන ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කළේ පසුගිය 02දා මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ක්ෂුද්‍ර ණය උගුල්වලට හසුවූ කාන්තාවන් 75,000කට අගෝස්තු 01දා සිට ඒ ණය සියල්ල කපා හරිමින් සහන ලබාදෙන්නට රජය තීරණය කර තිබෙනවා. යාපනය, මුලතිව්, සහ පොළොන්නරුව ආදී දිස්ත්‍රික්කවල කාන්තාවන් මීට අයත්. එහිදී, රු.ලක්ෂයක් හෝ ලක්ෂයට අඩු ප්‍රමාණයක් ලබාගත් සියලු දෙනාගේ ණය රජය විසින් වසර 5ක් ඇතුළත එම සමාගම්වලට ගෙවන්නට තීන්දු කළා. ඒ වගේම, ඒ සමාගම් මේ මුදලට එකතු වුණු පොලිය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමටද එකඟතාව පළ කර තිබෙනවා.
ඒ අනුව, මේ පුද්ගලයන්ගේ අනන්‍යතාව ඔප්පු කළාට පසුව ණය කපා හැරීමේ ලිපිය නිකුත් කළ හැකියි. ඉදිරියටත් අලුත් ක්ෂුද්‍ර ණය ලබාදීමේදී වාර්ෂික පොලිය 35%කට සීමා කරන්න සමාගම් සමග එකඟතාවකට පැමිණියා. ඒ වගේම, ඉදිරියේදී ණය උගුල්වලට හසු නොවන ආකාරයට අලුත් නීතිරීති සම්පාදනය කිරීමටද රජය කටයුතු කරනවා." යැයි පවසා සිටියේය.