දේශපාලනඥයන්ගේ පොරොන්දු නිසා හෙට අනිද්දාට බැංකු ණය පොලී අනුපාත අඩුවනු ඇතැයි කියා ජනතාව තුළ යම් අදහසක් තිබුණද, එය එසේ සිදු නොවන බවත්, යම් ලෙසකින් පදනම් රහිතව, කෘත්‍රිම ලෙස එවැන්නක් සිදුකළහොත් එය මහ බැංකුවේ ස්වාධීනත්වයට මෙන්ම, බැංකු පද්ධතියටම විශාල හානියක් සහ බලපෑමක් ඇති කරනු ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මෙම මස අවසන් වනවිට බැංකු ණය පොලී අනුපාත 12% සිට 10% දක්වා අඩු කරන බවට අගමැතිවරයා සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳවත්, මහ බැංකුව විසින් ආසන්න කාලසීමාවේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමර්ග ගැනත් විග්රහයක යෙදෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා 'අද ව්‍යාපාරික පිටුව' වෙත මෙසේ අදහස් දක්වයි. එහිදී, වැඩිදුරටත් කතාකළ හිටපු අධිපතිවරයා,
"පොලී අනුපාත අඩු කරනවා කියල අගමැතිවරයා කියන කතාව අනිවාර්යයෙන්ම ඡන්දයක් බලාගෙන කියන කතාවක්. මොකද, ණය පොලී ගැන කතා කළොත්, Transmission Period එකක් කියල දෙයක් තියෙනවා. ඒ කියන්නෙ, ඕනෑම රටක, ඕනැම ආර්ථිකයක යම්කිසි තීරණයක් ගත්විට, පැරසිටමෝල් එකක් අරන් විනාඩි 10කින් හිසේ කැක්කුම අවසන් කරනව වගේ දෙයක් වෙන්නෙ නෑ. එය ආර්ථිකයට සම්ප්‍රේෂණයට වීමට යම් කාලයක් අවශ්‍යයි. ඒ නිසා තමයි, මහ බැංකුවක් ඉදිරියේදී සිදුවීමට තියෙන දේවල් ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරල, ඒවට පිළියම් යොදන්නෙ. මොකද, ඒ පිළියම්වල ප්‍රතිඵල ලැබෙන්න, වසරක විතර කාලයක් යනවා. ඒ කියන්නෙ, තීරණය ගත්ත වෙලාවෙ ඉඳල, ඒ තීරණය සමස්ත ආර්ථිකයටම කාන්දු වෙන්න සෑහෙන්න කාලයක් ගතවෙනවා. ඒක මේ දේශපාලඥයන්ට පොඩ්ඩක්වත් තේරෙන්නෙ නෑ. මේක විහිළුවක් නොවෙයි.
දරුවෙක් මෙළොවට බිහිවෙන්න මාස 9ක් මවු කුසේ මෝරන්න ඕනෙ. අපිට හෙට දරුව ඕනෙ කියල, දරුගැබට මාස දෙකක් තියල දරුවව මෙළොවට බිහිකරන්න බෑ. ඒ නිශ්චිත කාලය ගතකළ යුතුමයි. විශේෂයෙන්ම, දිගු හා මධ්‍ය කාලීන තීරණ ලෙස ගැනෙන පොලී අනුපාතය, මුදල් සංසරණයේ ප්‍රතිවිපාක, උද්ධමනය ආදියෙහි ප්‍රතිඵල සමස්ත ආර්ථිකයටම ගලාඒමට සෑහෙන කාලයක් ගතවෙනවා. අනෙක් කාරණය තමයි, මේ වගේ පොලී අනුපාත අඩු කරනවා කියල අගමැතිවරයෙක් කියද්දි, මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන යළිත් වරක් බරපතළ ප්‍රශ්න මතුවෙනවා. මහ බැංකුවක් රටකට තියෙන්නෙ මොකටද කියල මිනිස්සු ප්‍රශ්න කරන්න පුළුවන්. මහ බැංකුවේ කාර්යභාරයක් දේශපාලඥයන් විසින් දේශපාලනිකව අතට ගෙන කටයුතු කරනවා යැයි විදේශීය ආයෝජකයන් දැනගත්විට, මහ බැංකුව කෙරෙහි පවතින විශ්වසනීයත්වයත් සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඉතාම වැරදි පූර්වාදර්ශයක් තමයි, එතනදි ගොඩනැගෙන්නෙ.
මේවා ආර්ථිකමය වශයෙන් දැවැන්ත බලපෑමක් සහිත තීරණ. ඒ නිසා මේ තීරණ නිවැරදිව අරගෙන කටයුතු කරගෙන යැමේ ස්වාධීනත්වය මහ බැංකුවට ලබාදිය යුතුයි. පොලී අනුපාතය අඩුකළ යුතුව ඇති බව අපි හැමෝම දන්නවා. මොකද, පොලී අනුපාත අඩුවුණාම තමයි, මිනිස්සු ව්‍යාපාර කරන්නෙ. අවදානම අඩුවෙන්නෙ. රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නෙ. නමුත්, මේ සියලු තත්ත්වයන් ඉතා යහපත් ආකාරයෙන් පැවති තත්ත්වයක මීට වසර හතරකට කලින් අඩු මට්ටමක තිබුණු පොලී අනුපාත හිතුමතේ වැඩි කරගෙන තමයි, මහ බැංකු වංචාවෙන් දැවැන්ත හානියක් රටට කළේ. එදා අගමැතිවරයයි, මහ බැංකු අධිපතිවරයයි දෙන්නම එකතුවෙලා, පොලී අනුපාත 3%කින් කෘත්‍රිම ලෙස වැඩි කරගෙන ඒ වංචාව කරල, අවසානයේ මුළු පොලී පද්ධතියටම විශාල හානියක් කළා. ඉතිං මේ වගේ තීරණ දේශපාලනීකරණය කළොත් ආර්ථිකය කෙරෙහි පවතින විශ්වසනීයත්වය පහළ යනවා. මම හිතන්නෙ, මේකට වෘත්තීයමය විසඳුමක් මිසක්, දේශපාලනික විසඳුම් දාන්න ගියොත් අපි හැමෝම ලොකු අමාරුවක වැටෙනවා.
ඒ වගේම, හෙට අනිද්දාට පොලි අනුපාත අඩුවෙයි කියල ජනතාව තුළ අදහසක් තිබුණත් එහෙම වෙන්නෙ නෑ. එහෙම වුණත්, එය සිදුවන්නෙ කෘත්‍රිම ලෙස පදනම් රහිතවයි. එහෙම වුණොත් මහ බැංකුවේ ස්වාධීනත්වයට වගේම, ඒ ප්‍රශ්නෙ විශාල ලෙස බැංකුවලට බලපාන්න පුළුවන්. බැංකු කඩා වැටෙන තත්ත්වයට එන්න පුළුවන්. මොකද, බැංකුවක් කරන්නෙත් මුදල් ව්‍යාපාරයක්. බැංකුවක් මුදල් විකුණනව කියන්නෙ, ණය පොලී අනුපාතයක් අය කරනවා. මුදල් මිලදී ගන්නව කියල කියන්නෙ, තැන්පතු පොලී අනුපාතයක් ලබාදෙනවා. යම් භාණ්ඩයක් රු.100කට අරගෙන රු.120කට විකුණනව කියන්නෙ, ගන්න ගාණට වඩා වැඩිපුර ගාණකට විකුණල, ව්‍යාපාරිකයාත් යම් ලාභයක් ලැබීමයි. හැබැයි මෙතන වෙලා තියෙන්නෙ, අද බැංකුවලට බොල් ණය තියෙනවා. ඔවුන් ලබාගන්නා ණයවලට ගෙවන පොලී අනුපාත තියෙනවා. රුපියලේ අගය නිසා ව්‍යාපාර කරන අයට තියෙන පීඩනය එල්ල වෙනවා. ඒ වගේම, අවදානම් තියෙනවා. ඉතිං මේ සියල්ල බලල තමයි, බැංකුවක පොලී අනුපාතය තීරණය කරන්නෙ. ඒවා කිසිදෙයක් නැතිව, කවුරු හරි උදේ නැගිටල 2%යි, 3%යි, 5% කියල නොම්මරයක් කිව්වොත් වෙන්නෙ, මේ මුළු ජාලයම අවුල් වෙනවා. ඒක තමයි, මැතිවරණය බලාගෙන වත්මන් ආණ්ඩුව කරන්න යන්නෙ.මේක බරපතළ විනාශයක්. මෙච්චර කාලයක් පොලී අනුපාත වැඩිබව මොවුන්ට තේරුණේ නැද්ද? ඇයි දැන් මේ හදිස්සිය. කඩිමුඩියේ බැංකු ණය පොලිය අඩුකිරීම තිරසාර ක්‍රමය නොවෙයි. වත්මන් නායකයන්ගෙ පුද්ගලික අවශ්‍යතාවලට සමස්ත ආර්ථිකයත් එක්කම සෙල්ලම් කළොත්, ඒ හැමදෙයක්ම අවසානයේ වැටෙන්නෙත් අපේ ජනතාවගේ කරපිටටම තමයි." යනුවෙන් පවසා සිටියේය.