ඉමාද් සුබේරි නමැත්තාට 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් එවකට රජය විසින් ලබාදී තිබූ ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත සිදුකර ඇති බවත්, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.
ඉමාද් සුබේරි වෙත ඇ.ඩො.මිලියන 6.5ක මුදලක් 2014 වසරේදී ගෙවා ඇති බවට ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (03දා) කරනලද චෝදනාව අසත්‍ය කරුණක් බව පවසමින්, හිටපු අධිපතිවරයා මෙසේ පවසා සිටියේය. ඒ මහතා සිය ප්‍රකාශයෙන් වැඩිදුරටත් පැහැදිලි කළේ මෙසේය.
"රජයේ බැංකුකරු ලෙස 2014 වසරේදී මහ බැංකුව විසින් කර ඇති ගෙවීම් රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත සිදුකර ඇති අතර, ඒවා තනි පුද්ගලයෙකුගේ අභිමතය අනුව සිදුකර නොමැත. එවන් ගෙවීම් අතර සුබේරි සහ ඔහු විසින් නියෝජනය කරනලද සමාගම්විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ සිදුකරන ලද විවධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් කරනලද ගෙවීම්ද අඩංගුය.
ඒ සම්බන්ධයෙන් රජය විසින් ලබාදී ඇති ලිඛිත සහ නිල උපදෙස් සහ අදාළ රජයේ බලධාරීන්ගේ අනුමැතිය මත, එම ගෙවීම් සිදුකර ඇති අතර, මහ බැංකුවේ ගෙවීම් සහ ක්‍රියාපටිපාටි අනුගමනය කොට ඇත. එබැවින්, රජය වෙනුවෙන් ඇ.ඩො.මිලියන 6.5ක ගෙවීම් සුබේරි සහ අදාළ සමාගම් වෙත සිදුකිරීමේදී, කිසිදු පරිපාටිමය හෝ වෙනත් නීති හෝ රීති උල්ලංඝනයක් මහ බැංකුව වෙතින් සිදුවී නොමැති බව තහවුරු කළ හැක.
එසේ වුවද, මා විසින් පුද්ගලිකව මෙම ගෙවීම් වංචනික ලෙස සිදුකර ඇති බවටද, එමගින් රටට පාඩුවක් සිදුකර ඇති බවටද චෝදනා කරන දේශපාලන අරමුණු සහිත ඇතැම් කණ්ඩායම් සිටින බව දැනට නිරීක්ෂණය වී ඇත. මෙම කණ්ඩායම් 2015 සිට 2019 දක්වා වසර 5ක් පුරාවටම පාහේ මෙම ගනුදෙනු සියල්ල ගැඹුරින් විමර්ශනය කළද, එසේ කිරීමෙන් පසුව මවිසින් කිසිදු අතපසුවීමක් හෝ නීති උල්ලංඝනයක් කර ඇති බවට පෙන්වා දීමට නොහැකි වුණි. ඒබැවින්, එම වසර 5ක කාලය තුළ කිසිදු නීතිමය අධිකාරියකින් මට එරෙහිව කිසිදු ආකාරයේ නීතිමය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට අපොහොසත් වූ බවද ඉතා පැහැදිලිය.
එසේ වුවද, මෙම දේශපාලනික කණ්ඩායම් යළිත් මට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින්, මාගේ කීර්ති නාමයට හානි කිරීමට සහ මා මහජන වෛරයට සහ අප්‍රසාදයට පත් කිරීමට දැඩි උත්සාහයක් ආරම්භ කොට ඇත. එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන්ගේ ඒම නින්දිත ක්‍රියාවන්ට එරෙහිව සුදුසු අවස්ථාවක නීතිමය ප්‍රතිචාර දක්වන බවත්, එකී ක්‍රියාවන්හි යෙදෙන්නන් ඒවාට වගවීමකට ලක්කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමි."