හතලිස් වසරකට ආසන්න සිය නිර්මාණ දිවියෙන් තෝරාගත් ගොඩනැගිලි කිහිපයක් ඇතුළත් විජිත බස්නායකයන් රචිත කෘතිය, ‘ඉනි’ පසුගිය අගෝස්තු 23දා එළිදැක්විණි.
සිංහල - ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම සම්පාදිත මෙම කෘතිය, විජිතගේ ගොඩනැගිලි ඉදිකිරීමේ විලාසය පිළිබඳ කදිම විවරණයක් ගෙන එයි. ඔහු සිය සහයෝගි නිර්මාණ ශිල්පීන් සහ කර්මාන්තකරුවන් හා එක්ව පසුගිය දශක හතරක් තිස්සේ කළ නිමැවුම් එක හැඩයකට, රාමුවකට හෝ සෞන්දර්ය රීතියකට ගොනු කිරීම තරමක් අසීරුය.
ඒවායේ එළැඹුම, මූලික පිහිටීම, ඉඩහසර හැසිරවීම හුදෙක්ම සමකාලීන ගොඩනැගිලි අවශ්‍යතාවක් සපුරාලීමකි. එහෙත් ඉඩකඩෙහි විස්තරාත්මක නිරූපණ, දිග පළල උස අතර අනුපාතයන්, සම්පිණ්ඩනයන් තුළ ඇත්තේ පැතිරුණු අතීත ගොඩනැගිලි සම්ප්රදායක අක්-මුල් සොයා යන ගමනකි. ඒ ගමනේදී ඔහු අනාගතවාදී, ස්වභාවික පරිසරය හා එක්ව විසිය හැකි ගොඩනැගීම් විලාසයකටද ඔහු මුල පුරන්නේ නිර්මාණයට සහභාගි වන සියල්ලන් ඒ හා සංවේදී කරවමිනි.
සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකාවේ උගෙන පුහුණුව ලැබූ විජිත බස්නායක මේ මහපොළව මත හසුරවමින් සිටින්නේ හුදු ගොඩනැගිලි ඉදිකිරීමේ ශෛලියක් නොව පාරිසරික සංවේදිතාවය පිළිබඳ දැනුමකි.
ඔහු ඇතුළු මේ ගොඩනැගිලි නිර්මාණකරුවන්ගේ යෝජනාව තාක්ෂණයේත්, සම්ප්රදායේත්, කලාත්මක මනෝ භාවයේත් මනා සංකලනයකි. සමබරතාවයකි. යහ පැවැත්මකි.
විජිතගේ ගොඩනැගිල්ලක සැලසුම ඇඳෙන පරිද්දෙන්ම ඔහුගේ ඇදුරන්, සමීපතමයන්, සහයෝගකරුවන් ඇසුරෙහි කලක් තිස්සේ කතා බස් කරමින් වෙනස් වෙමින් සංස්කරණය වූ කෘතියකි මෙය.
“ඉනි’: විජිත බස්නායකගේ තෝරාගත් ඉදිකිරීම්” පිටු 306 යි. ඝන බැම්මෙන් බැඳ ඇත. ගොඩනැගිලි වල සිතියම්, වර්ණ ඡායාරූප සහ විස්තරාත්මක විවරණයක් අඩංගුය. 120gsm ඔප කඩදාසියේ මුද්‍රිත මෙය විජිතයාපා ප්රකාශනයකි.