ව්‍යසනකාරී ආර්ථික රැල්ලක් අප සැම දෙසට ගමන් කරමින් සිටින බැවින්, එම බරපතළ ව්‍යසනය වැළැක්වීම සඳහා ඉදිරි ආර්ථික අර්බුදය කඩිනමින් විසඳාගත යුතුව ඇති බව වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් ඒකාබද්ධව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් 38කගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට, පක්ෂ නායකවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට මෙම ඒකාබද්ධ ප්‍රකාශය යොමුකර තිබේ. එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
"ව්‍යසනකාරී ආර්ථික රැල්ලක් අප සැම දෙසට ගමන් කරමින් සිටින බැව් මෙම ප්‍රකාශයේ අත්සන් කරන ලද වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් වන අපි, ඒකමතිකව ඔබගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු.
අපගේ ආයතන, අපනයනකරුවන්, ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සංචාරක අංශය, නාවික සහ සැපයුම්කරුවන්, අනෙකුත් සේවා සපයන්නන් මෙන්ම, ආර්ථිකයේ අනෙකුත් බොහෝ වැදගත් අංශ සාමූහිකව නියෝජනය කරයි. මෙම සියලු ක්ෂේත්රවල සැපයුම් දාමයේ වේගවත් හා ස්ථාවර බිඳ වැටීමක් පවතින බවට පැහැදිලි සාක්ෂි ඇති අතර, මෙම තත්ත්වය මූල්‍ය වෙළෙඳපොළ සහ බැංකු පද්ධතිය කෙරෙහි දැඩි බලපෑමක් ඇතිකළ හැකිය.
ආර්ථිකයේ සියලුම කර්මාන්ත, අපනයන සහ අනෙකුත් තීරණාත්මක අංශ අකර්මන්‍ය වුවහොත් එහි අවසාන ප්‍රතිඵලය වනුයේ සමස්ත සමාජ ව්‍යුහයම විනාශවීම වන අතර, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශය වඩාත්ම පීඩාවට පත්වනු ඇත. එබැවින්, රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ අනෙකුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම, මෙම ආර්ථික ව්‍යසනය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධක වේ.
ගොඩනැගෙමින් පවතින දැවැන්ත මහජන විරෝධය සැලකිල්ලට ගනිමින් අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා විධායකය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව, මෙම සතිය අවසන් වනවිට රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට ප්‍රායෝගිකව කටයුතු කරන ලෙස දේශපාලන පක්ෂ නායකයන්ගෙන් සහ සියලු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිමු. මෙම ප්‍රවණතාව දිගින් දිගටම පැවතුනහොත් මහජනතාවට සහ ආර්ථිකයට බරපතළ හානි ඇතිකළ හැකි ප්රචණ්ඩත්ව රැල්ලක් බවට පත්විය හැකි බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. එබැවින් ඉහත දක්වන ලද ප්‍රමුඛතා කෙරෙහි වහා අවධානය යොමුකළ හැකි අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා වගකීම්සහගතව කටයුතු කරන මෙන්, මෙම තීරණාත්මක අවස්ථාවේදී අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු."