2021 වසරේ හදිසි තීරණයක් ලෙස පොහොර සහ කෘෂි රසායන ආනයන මුළුමනින්ම තහනම් කිරීමත්, පවතින විදේශ විනිමය අර්බුධයත් නිසා රටේ සමස්ත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව දැඩි අවදානමකට පත්විය හැකි බව ජාතික කෘෂි ව්‍යාපාර සභාව අනතුරු අඟවයි.
කෘෂි ආහාර සැපයුම් දාමයේ පාර්ශ්වකරුවන් වන ගොවීන් සහ වැවිලිකරුවන්, සත්ත්ව පාලනයේ නියැලෙන්නන්, කෘෂි යෙදවුම් බෙදා හරින්නන් සහ ආහාර සැපයුම්කරුවන්ගේ සාමූහික නියෝජනයක් වන ජාතික කෘෂි ව්‍යපාර සභාව අද පවතින කෘෂි සහ සත්ත්ව පාලනයට අවශ්‍ය බීජ, පොහොර, කෘෂි රසායන, සත්ත්ව ආහාර සහ බෙහෙත් හිඟවීම නිසා ඇතිවිය හැකි අවදානම් තත්ත්වය බලධාරීන්ගේ සහ ජනතාවගේ දැඩි අවධානයට යොමුකළ යුතු බව පවසයි.
රටේ ආහාර නිෂ්පාදනයට අදාළ කෘෂිකාර්මික කටයුතු වර්ෂාපතන රටා පදනම් කොටගත් යල සහ මහ කන්න මූලික කොට සිදු කෙරේ. එලැඹෙන යල කන්නය අප්‍රේල් මැයි මාසවල ආරම්භ වන අතර, මහ කන්නය ඔක්තෝබර් මාසයෙන් ආරම්භ වේ. ලැබී ඇති දත්ත අනුව අප්‍රේල් මාසයේ බිම් සැකසීමෙන් ආරම්භ වන යල කන්නය සඳහා අවශ්‍ය ආනයනික බීජ, පොහොර, කෘෂි රසායනවලින් ලබාගත හැකිවනුයේ 30%ක ප්‍රමාණයක් පමණක් බව ඔවුන් කියයි. මේ ප්‍රමාණය යල කන්නයේ වගා බිම් සහ අස්වනු ඉලක්කවලට යාම සඳහා නොසෑහෙන අතර, ඔක්තෝබර් මාසයෙන් ඇරඹෙන 2022/23 මහ කන්නයට අවශ්‍ය යෙදවුම් සුලභ කිරීම සඳහා සෑහීමකට පත්විය හැකි වැඩපිළිවෙලක් දක්නට නැති බවද ඔවුන් පෙන්වා දෙයි. එහිදී සිය සාමාජික ආයතන පවසන පරිදි ආනයනික කෘෂි යෙදවුම් සැපයීමට අදාළව මිල ගණන් කැඳවීම, බලපත්‍ර ලබාගැනීම, ණයවර ලිපි සැකසීම, ඇණවුම් කිරීම, තොග සැකසීම සහ නැව්ගත කිරීම ආදී පියවර සඳහා මාස 06ක පමණ කාලයක් අවශ්‍ය වනු ඇති බව පවසන ඔවුන්, අඩු වශයෙන් මහ කන්නයේ යෙදවුම් සහතික කිරීමට නම් මේ කටයුතු අප්‍රේල් මාසයේ ආරම්භ කළ යුතු බව පවසයි. ඒ අනුව, අද රටේ සහ ගෝලීය වශයෙන් පවතින තත්ත්වය හමුවේ මාස 06ක් වුවද ඉතා අභියෝගාත්මක ඉලක්කයක් බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.