තෝරාගත් ආහාර ද්‍රව්‍ය කූඩයක සිල්ලර මිලෙහි මාසික වෙනස්වීම් නිරීක්ෂණය කරන 'ඇඩ්වොකාටා බත් කරි දර්ශකය' (BCI) 2022 මාර්තු සිට 2022 අප්‍රේල් දක්වා 14%ක වැඩිවීමක් සමග, මෙම ආහාර කූඩය සඳහා වසරින් වසර 49%ක මිල වැඩිවීමක් පවතින බව අනාවරණය කරයි.
මෙම වැඩිවීම සඳහා මූලික වශයෙන් පරිප්පු සහ සම්බා සහල් මිල හේතු වී ඇති බව පවසන BCI දර්ශකය, මෙම මිල ගණන් එම දර්ශකය විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම මිල ගණන් බවද පෙන්වා දෙයි. 2021 අප්‍රේල් මාසයේදී පරිප්පු කිලෝවක් රු.178ක් වුවද, වසරකට පසුව එය රු.466ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම, සම්බා කිලෝවක් 2021 අප්‍රේල් මාසයේදී රු.130කට ආසන්න වුවද, වසරකට පසුව එය රු.210ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මෙම අනුපාතයට ආහාර ද්‍රව්‍යවල මිල වැඩි වීමත් සමග හතර දෙනෙකුගෙන් යුතු පවුලක් BCI ආහාර ද්‍රව්‍ය කූඩය සඳහා සතියකට රු.560ක් වැඩිපුර වියදම් කළ යුතුව ඇති බවද සඳහන් වේ.
මේ අතර, ආහාර උද්ධමනයේ වාර්ෂික වැඩිවීමට සාපේක්ෂව කොළඹ පාරිභෝගික මිල දර්ශකය විසින්ද පසුගියදා 47%ක සමාන අනුපාතයක වැඩිවීමක් වාර්තා කරන ලදී. එමෙන්ම, 2021 මාර්තු සිට 2022 මාර්තු දක්වා සුපිරි වෙළෙඳසැල් ආහාර ද්‍රව්‍යවල සිල්ලර මිල ගණන් සැසඳීමේදීද 40%කට ආසන්න වැඩිවීමක් සිදුව තිබේ.
2022 දී ආහාර මිලෙහි මෙම දරුණු ඉහළ යෑම රට තුළ සාර්ව ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිඵලයක් බව 'ඇඩ්වොකාටා බත් කරි දර්ශකය' (BCI) පෙන්වා දෙන්නේ, වසංගතය සහ සැපයුම් දාමයේ ගැටලු හේතුවෙන් ගෝලීය මිල ගණන් ඉහළ ගියද, ගෝලීය මිල ගණන් ශ්‍රී ලංකාවේ මිල ගණන් තරම් ශීඝ්‍ර වේගයකින් ඉහළ ගොස් නොමැති බව අවධාරණය කරමිනි.
ගෝලීය වසංගත ආශ්රිත ගැටලුවලට අමතරව ශ්‍රී ලංකාව දැනට විදේශ විනිමය හිඟයකට මුහුණදී සිටින අතර, එය දේශීය සැපයුම් දාමයට බලපා ඇත. මෙම බලපෑම අඛණ්ඩ ආනයන සීමා කිරීම් මගින්ද උග්‍ර වී ඇති අතර, මෙම හේතූන් දෙක මගින්ම හිඟයන් ඇති කර තිබේ. ශ්‍රී ලංකා රුපියලේ අගය ශීඝ්‍රයෙන් පහත වැටීම යන කාරණය මගින් මෙම හිඟයන් සංකීර්ණ වී ඇති අතර, 2022 දී ආහාර ද්‍රව්‍යවල මිල ගණනන් ඉතා වේගයෙන් ඉහළ යාමට මේ සියල්ලු කරුණු දායක වී ඇති බව 'ඇඩ්වොකාටා බත් කරි දර්ශකය' (BCI) පෙන්වා දෙයි.
සාමාන්‍ය බත් කරි ආහාර වේලකට භාවිත කළ හැකි බහුලවම පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවල කොළඹ වෙළෙඳපොළෙහි සතිපතා සිල්ලර මිල BCI දර්ශකය මගින් නිරීක්ෂණය කරන අතර, මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනලද 'සතිපතා ආර්ථික දර්ශක' වෙතින් ලබාගත් මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත මත පදනම් වෙයි.