ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 100ක් හදිසි ආධාරයක් වශයෙන් ලබාදීම සලකා බලමින් ඒ පිළිබඳ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු (AIIB) මණ්ඩලය සමග සාකච්ඡා කරන බව එහි සභාපති ජින් ලික්‍යුන් මහතා පවසයි.
ආසියානු යටිතලපහසුකම් ආයෝජන බැංකුවේ සභාපතිවරයා සහ එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය පසුගිය 06දා මුදල් අමාත්‍ය එම්.යූ.එම් අලි සබ්රි මහතා සමග අතථ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා තිබේ. ශ්‍රී ලංකාව වෙත ලබාදෙන වත්මන් සහයෝගීතාවයේ ක්ෂේත්‍ර සහ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරී ඇති අතර, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව ඇත.
ආරම්භයේදීම ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට AIIB හි කැපවීම නැවත අවධාරණය කර තිබූ සභාපති ජින් ලික්‍යුන් මහතා, ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් ගැටලු ජය ගනු ඇතැයි තමාට විශ්වාස බවද ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාවට මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සහාය ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පවත්වා ඇති අතර, මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු සඳහා විදේශ විනිමය ද්‍රවශීලතා සහාය ලබාගැනීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවට ලක්කරමින්, AIIB මගින් එය ලබාගැනීමට ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව, AIIB ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවට එහි පවතින ගැටලු මඟහරවා ගැනීමට සහාය වන බවත් ලිඛ්යුන් මහතා සහතික වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.