Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 26 වන ඉරිදා
2025 ජනවාරි මස 26 වන ඉරිදා
රටක ආර්ථිකයක් හැසිරවීමේ මූලිකාංග ලෙස ගැනෙන මූර්ත අංශය, මූල්‍ය අංශය, බාහිර අංශය, රාජ්‍ය මූල්‍ය අංශය සහ බැංකු හා මූල්‍ය අංශය යන සියලු සාධක සැලකීමේදී ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ඒ සියලු අංශවලින් අසමත් බවක් පෙන්වා ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විග්රහයක යෙදෙමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 'අද ව්‍යාපාරික පිටුවට' මෙසේ අදහස් පළ කරන්නට විය. එහිදී, වැඩිදුරටත් කතාකළ හිටපු මහ බැංකු අධිපතිවරයා,
කොත්තමල්ලි හැර පිහිටක් නැති ජනතාවක්
"අපේ ආර්ථිකය ගැන අද අපිට පැති කිහිපයකින් බලන්න පුළුවන්. මුලින්ම අපේ රටේ තියෙන මූර්ත ආර්ථිකය (Real Economy) ගැන අපි කතා කරමු. මූර්ත අංශය යටතේ ව්‍යාපාර, ඉදිකිරීම්, රැකියා බිහිවීම්, කර්මාන්ත සහ සේවා ආදී මේ හැම පැත්තක්ම බැලුවොත් අද මේ සියල්ලම අඩපණයි. නැත්නම් දුර්වලයි. ව්‍යාපාර ක්ෂේත්රයේ ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් අද කියන්නෙ, 'මට බිස්නස් නෑ' කියලා. ඉදිකිරීම් ක්ෂේත්රයේ කාගෙන් හරි ඇහුවොත්, 'මට වැඩ නෑ' කියනවා. සේවා ක්ෂේත්රයේ දොස්තර මහතෙකු ළඟට ගිහිල්ල ඇහුවොත් කියන්නෙ, 'මට ලෙඩ්ඩු නෑ' කියලා. ඇත්තටම ලෙඩ්ඩු නැද්ද? නෑ, ලෙඩ්ඩු වෙනදටත් වඩා වැඩියි. හැබැයි, බේත් ටිකක් ගන්නවත් මිනිස්සු ගාව සල්ලි නෑ. දොස්තර කෙනෙක් ගාවට යන්න තරම්වත් වත්කමක් නෑ. කොත්තමල්ලි ටිකක්, පැරසිටමොල් පෙත්තක් බීලා අසනීපෙ හොඳ කරගන්නව ඇරෙන්න මිනිස්සුන්ට වෙන විකල්පයක් අද නෑ. ඒ කියන්නෙ, ආර්ථිකය සංකෝචනයවීම, හැකිලීම දිගින් දිගටම සිදුවෙමින් යනවා.
මල් මාලාවක් දාන්නෙත් බොහොම කලාතුරකින්
ඕකට හොඳ කතාවක් තමයි, සමහර අවස්ථාවල ඔබටත් ඇහිලා ඇති, 'දැන් රටේ බඩු මිල අඩුයි' කියලා ආණ්ඩු පක්ෂයෙන්ම කියනවා. හැබැයි එහෙම මිල අඩුවෙලා තියෙන්නෙ, ආණ්ඩුව කරපු ආර්ථික විප්ලවයක් හෝ විස්කමක් නිසා නෙමෙයි. ඒකට හේතුව, මේ ආර්ථිකය සංකෝචනය වීම. ඒ කිව්වෙ, භාණ්ඩයක් හෝ සේවාවක් පැවති මිලට මිලදී ගන්න අද මිනිස්සු පෙලඹෙන්නෙ නැතිවීම. ඔන්න කෙනෙක් මල් වගාවක් කරනවා කියල හිතන්න. හැබැයි, ඒ වගාවෙන් ඔහු මල් විකුණනවා කියන්නෙ, කෙනෙක් ඇවිත් ඒවා මිලදී ගන්න ඕනෙ. හැබැයි, දැන්වෙලා තියෙන්නෙ, මල් ගන්න කෙනෙක් නෑ. ගැනුම්කරුවන් අඩුවෙලා. අද මල් මාලාවක් දාන්නෙත් බොහොම කලාතුරකින්. එහෙම මල් අලෙවිය ක්‍රමයෙන් අඩු වෙනකොට ඒවායේ මිල පහළ යනවා. ඒ කිව්වෙ, මල්වලට අවශ්‍ය තරම් ඉල්ලුම නැති වනවිට ඒවායේ මිල අඩු වෙනවා. මේ ගැන තව ආර්ථිකමය හේතු කාරණා අපිට කියන්න පුළුවන්. හැබැයි සරලව, හැමෝටම තේරෙන භාෂාවෙන් කිව්වොත්, ඇත්ත කතාව අද එදිනෙදා ජීවන වියදම පිරිමසා ගන්න තරම්වත් මිනිස්සු අතේ සල්ලි නෑ. මෙවැනි පසුබිමක ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් සංකෝචනය වීමක් හැර ආර්ථිකය වර්ධනය වීමක් අපට දැකගන්න බෑ. මේක මහා වේදනාවක් දැනෙන කතාවක්.
Prime Lending Rate අද තියෙන්නෙ කොතැනද?
හරි, ඒ එක පැත්තක්. අපි අනෙක් පැත්තට ආර්ථිකයේ මූල්‍ය අංශය අරගෙන බලමු. මට මතකයි, 2014 දී අපේ රටේ තිබුණු පොලී අනුපාත. එතනදි, වාණිජ බැංකු විසින් යම් පුද්ගලයෙකුට ණය මුදලක් ලබාදෙන පොලී අනුපාත සැලකීමේදී Prime Lending Rate තමයි, මූලික වශයෙන් අවධානයට යොමුවන පොලී අනුපාතය. වාණිජ බැංකුවක් විසින් තමන්ගේ බැංකුවේ ඉන්න හොඳම, එහෙමත් නැත්නම් විශ්වාසවන්තම පාරිභෝගිකයන්ට ණය ලබාදෙන්නෙ මෙන්න මේ Prime Lending Rate වලට. මෙන්න මේ පොලී අනුපාතයට. ඒ පොලී අනුපාතයට සාපෙක්ෂව තමයි, අනෙකුත් අයට (හොඳම පාරිභෝගික පිරිසට පහළින් සිටින බහුතර පිරිසට) ණය ලබාදෙන්නෙ. උදාහරණයක් විදියට හොඳම පාරිභෝගිකයාට දෙන්නෙ, සියයට 6.5ක පොලියට නම්, ඊට වඩා ටිකක් පහළ කෙනාට සියයට 7.5ක් වෙන්න පුළුවන්. මොකද, ණය මුදලේ අවදානම වැඩිවෙද්දි, පොලී අනුපාතය සාපේක්ෂව වැඩිවෙනවා.
බැංකු වාරිකය ගෙව්වාම මාසෙ පඩිය ඉවරයි
ඉතිං මට මතකයි, ඒ කාලෙ කවුරුහරි කෙනෙක් නිවාස ණය මුදලක් ගන්න ගියා නම් ඔහුට සියයට 10කට වගේ පොලියකට ණය මුදලක් ලබාගන්න පුළුවන් වුණා. මොකද, ඒ කාලේ Prime Lending Rate අඩුයි. එතකොට වාණිජ බැංකුවක පාරිභෝගික පිරිසේ පහළින්ම සිටි පාරිභෝගිකයාට වුණත්, සෑහීමකට පත්විය හැකි පොලී අනුපාතයකට ණය මුදලක් ලබාගැනීමට අවකාශයක් තිබුණා. හැබැයි, මේ ආණ්ඩුව මහ දවල් සිදුකළ බැඳුම්කර මංකොල්ලය නිසා වැඩිවෙන්න පටන් ගත්ත පොලී අනුපාත තවමත් වැඩිවෙනවා. මේ නිසා ඒ කාලේ සියයට 6.2කට තිබුණු Prime Lending Rate එක අද සියයට 12යි. පොලිය දෙගුණයක් වෙලා. එතකොට මේ සියයට 12ට සාපේක්ෂව තමයි, හොඳම පාරිභෝගිකයන් නොවන අනෙක් සාමාන්‍ය බහුතර පාරිභෝගික පිරිසට ලබාදෙන ණය මුදල්වල පොලී අනුපාත අද ගණනය වෙන්නෙ. ඒ කියන්නෙ, සියයට 6ක්ම අනිවාර්යයෙන්ම වැඩිවෙලා. එතකොට මිනිස්සු ණය මුදලක් ගත්තාම ගෙවන්න තියෙන ගාණ වැඩියි. අවදානම වැඩියි. ණය වාරිකයයි, පොලියයි ගෙව්වාම, මාසෙ පඩියෙන් අතේ සල්ලි ඉතිරි වීමක් නෑ. ව්‍යාපාරයෙන් ඉතිරියක් නෑ. ඒ විදියට මූල්‍ය අංශයේ ලොකු දුර්වලතාවක් අද අපි දකිනවා.
කබ්රාල් රුපියල ස්ථාවර කළේ ඇයි?
මූල්‍ය අංශයේ තව දෙයක් තමයි, රුපියලේ අගය. මෙය බාහිර අංශය සමගත් සම්බන්ධයි. මේ රුපියලේ අගය ගැන හුඟක් දෙනෙක් ඒ කාලෙත් තේරුම් ගත්තෙ නෑ. මට මතකයි, 'කබ්රාල් රුපියල ස්ථාවරව පවත්වාගෙන යනව' කියලා ඒ කාලෙ මට චෝදනා කළා. හැබැයි, රුපියල ස්ථාවරව පවත්වාගෙන යාමේ වටිනාකම දැන් ඒ අයට තේරෙනව ඇති. එදා ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව 130ක අගයක තිබුණු එක්සත් ජනපද ඩොලරය, අද රු.180කට කිට්ටුයි. ඒ කියන්නෙ, හැම ඩොලර් එකකටම රු.50ක් අද අපි වැඩිපුර ගෙවන්න ඕනෙ.
අවශ්‍යතාව රු.ලක්ෂයක්, ලැබුණේ 75,000යි
මේක තව ටිකක් තේරුම් ගන්න ලේසි වෙන්න මම උදාහරණයක් දෙන්නම්. යම්කිසි පුද්ගලයෙක් නිවසක් හදන්න රුපියල් ලක්ෂයක නිවාස ණයක් ගන්න හිතුවා කියන්න. එතකොට ඔහුගේ වාරිකය ගණනය වෙන්නෙ පොලී අනුපාතයත් එක්ක. ඒ කාලේ සියයට 10ක අනුපාතයට ගත්ත ණය මුදලට අද ඔහුට ගෙවන්න වෙන පොලී අනුපාතය සියයට 15යි, 16යි, නැත්නම් 17යි. එතකොට මෙයා ඉල්ලුම් කළ රුපියල් ලක්ෂයම අද මෙයාට ගන්න බැරි වෙන්න පුළුවන්. මොකද එදා වාරිකයට වඩා, අද මෙයාට ගෙවන්න තියෙන ණය වාරිකය වැඩියි. එතනදි බැංකුව වුණත් ණය මුදල දෙන්නෙ ආදායමට ගැලපෙන විදියට. පොලී අනුපාත වැඩිවෙලා නිසා, මෙයාගෙ ආදායමට සරිලන විදියට බැංකුව ලබාදෙන්නෙ රු.75,000ක ණය මුදලක් වෙන්න පුළුවන්. ඒත් අවශ්‍යතාව තිබුණේ රුපියල් ලක්ෂයක්.
මූල්‍ය අංශයේ අප නොදකින පැත්තක්
අනෙක් කාරණය තමයි, ඒ කාලෙ ගෙයක් හදද්දි පැවති අමුද්‍රව්‍ය මිල අද හිතන්නත් බැරි විදියට වැඩිවෙලා. මොකද, එදා ඩොලරයට රු.130ක් ගෙව්වා නම්, අද රු.180ක් ගෙවන්න වෙලා. එහෙම බැලුවාම, ඇත්තටම රු.75,000ක් මෙයා අද අමුද්‍රව්‍යවලට යෙදෙවුවත්, ඒවායේ ඇත්තම අගය රු.50,000යි. අවසානයේදී එදා රු.ලක්ෂයේ ණය මුදල සඳහා වූ ණය වාරිකයම අද මෙයාට ගෙවන්න වුණත්, ගේ හදාගන්න යොදවන්න පුළුවන් මුදල රු.50,000කට අඩුවෙලා. මේ කාරණය, අපි මූල්‍ය අංශයේ බොහෝවිට නොදකින පැත්තක්. එහෙම බැලුවාම, මූල්‍ය අංශයේ රුපියලේ අගය අඩුවෙලා, පොලී අනුපාත වැඩිවෙලා. ඒ අංශයේ දැවැන්ත පීඩනයක් අපි දකිනවා. මේ පීඩනය තමයි, මිනිස්සුන්ට උහුලා ගන්න අමාරු. ඒ නිසා තමයි, තවදුරටත් ඉල්ලුම බාල වෙන්නෙ. පඩි වැඩිවුණා කියල කිසිම වැඩක් නෑ.
ආනයන අඩු කළාද? ජනතාවගේ බඩට ගැහුවාද?
අපි බාහිර (විදේශ) අංශය ගැන ටිකක් විමසා බැලුවොත්, දැන් ආනයන අඩු කරගත්තා කියල අපි කියනවා. හැබැයි, අපේ ආර්ථිකයේ ඇ.ඩො.බිලියන 10ක් විතර තියෙන අපනයනවලින් ඇ.ඩො.බිලියන 5ක් පමණම අපි ආනයනය කරපු දේවල්. එහෙම බැලුවාම, අපේ දළ අපනයන තියෙන්නෙ, ඇ.ඩො.බිලියන 5යි. ඒ වගේම, අපේ ආනයනය ඇ.ඩො.බිලියන 20ක්, 21ක් විතර වෙනවා. මෙතනදි, අපිට තිබුණු ඩොලර් ටිකත් කාබාසිනියා කරපු ආණ්ඩුවයි, මහ බැංකුවයි, අපිට ඩොලර් නැති නිසා කෘත්‍රිම ලෙස රුපියලේ අගය වැඩි කරලා, බදු පණවලා, තීරුබදු ගහලා, කරන්න තියෙන ඔක්කොම සෙල්ලම් දාලා, අපේ ආනයන ඇ.ඩො.බිලියන 18කට විතර සීමා කරගත්තා කියල දැන් කියනවා. එතකොට මොකද වෙන්නෙ? දැන් මේ සෑම ආනයනයක් හරහාම යම්කිසි පුද්ගලයෙක්, සමාගමක් ව්‍යාපාරයක් හෝ ව්‍යාපෘතියක් සිදුකරගෙන ගියා. එතකොට ආනයන දුර්වල කිරීමේදී ඒ ව්‍යාපාරය හෝ ව්‍යාපෘතිය අඩාල වුණා. අමතර කොටස් ගෙන්වන අයෙක් කියන්න, එයා මුදලක් උපයනවා. සෙල්ලම් භාණ්ඩ ගෙන්වන අයෙක් කියන්න, එයාත් යම් මුදලක් උපයනවා. යම් ආහාර ද්‍රව්‍යයක් ආනයනය කරන කෙනෙක්, ඒ සියලු ආනයන තමන්ට ගෙදර කන්න ගේන්නෙ නෑ. ඒ තැනැත්තාත් යම් ව්‍යාපාරයකින් මුදලක් උපයනවා. ඒ විදියට බොහෝ දෙනෙක් යම් ආනයනයක් කරන්නෙ ව්‍යාපාර කරගෙන යන්න. මේ ආනයන අඩාල වුණාම, මේ සියලු දෙනාගේ ව්‍යාපාර කඩා වැටෙනවා. සෑම ව්‍යාපාරයක්ම අද ක්‍රම ක්‍රමයෙන් සංකෝචනය වෙනවා. අපි ආනයන අඩුකළා කියල මහ උජාරුවට කියා සිටියත්, මිනිස්සුන්ගේ බඩට ගහපු එක තමයි, මේ ආණ්ඩුව කළේ.
බදු වැඩි කළාට ආදායම් වැඩි නොවුණේ ඇයි?
ඊට පස්සෙ අපි රාජ්‍ය මූල්‍ය අංශය බලුවොත්, අපි බදු වැඩි කරගෙන යනවා කියල මොවුන් කියනවා. එහෙම රජයේ ආදායම වැඩි කරගෙන, කිසි කරදරයක් නැතිව රජයේ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා තමයි, කියන්නෙ. එහෙම කියලා තමයි, බදු වැඩි කළේ. හැබැයි, මේ බදු වැඩිකිරීමේ අවදානම තමයි, මිනිස්සු ආයෝජන නැවැත්වීම. මිනිස්සු අවදානමක් අරගෙන ව්‍යාපාර කිරීම නැවැත්වීම. ඒ නිසා, බදු වැඩිකළ පමණින් අවසානයේදී, බදු හැටියට රජයට ලැබෙන මුදල් ප්‍රමාණය අඩුවීමක් දකින්න පුළුවන්. බදු අනුපාත වැඩිකළා කියල, 2019 පළමු වැනි කාර්තුව අවසානයේදී එකතු වෙලා තියෙන බදු මුදල් ප්‍රමාණය බලද්දි, සියයට 8ක් අඩුවෙලා. එතකොට ඇයි එහෙම අඩු වුණේ? ව්‍යාපාරික පරිසරය බිඳ වැටීම නිසා බදු අනුපාත වැඩි කළත් ගෙවන බදු ප්‍රමාණය අඩුවෙලා. ඒ වගේම, ලැබෙන ආදායම් අඩුවෙලා. එසේ ආදායම අඩු වූ නිසාත්, ගෙවන බදු ප්‍රමාණය අඩුවෙලා. මේ මෝඩ ප්‍රතිපත්ති නිසා ඇත්තටම රටට ලැබුණු ප්‍රතිඵලයක් නෑ. හැබැයි, අනෙක් පැත්තෙන් තිබුණු වියදම් තව තවත් වැඩිවෙලා. මොකද, රුපියලේ අගය වැඩිවීම නිසා ගෙවන පොලිය වැඩිවෙලා. අවසානයේදී, සමස්තයක් ලෙස ආණ්ඩුවේ ගෙවීම් තවදුරටත් සියයට 11කින් වැඩි වෙලා. එතනදි, ආදායම සියයට 8කින් අඩුවීම තුළ අයවැය පරතරය තවදුරටත් ප්‍රසාරණය වීමක් තමයි, දැන් තියෙන්නෙ.
බැංකු අංශයේ අද බොල් ණය වැඩිවීමක්
එතකෙට තව එක පැත්තයි තියෙන්නෙ. දැන් අපි මූර්ත අංශය, මූල්‍ය අංශය, බාහිර අංශය සහ රාජ්‍ය මූල්‍ය අංශය විමසා බැලුවා. මීළඟට බැංකු හා මූල්‍ය අංශය අරගෙන බලමු. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන පද්ධතිය 2014 වනවිට හොඳ ස්ථායී මට්ටමක පැවතුණා. ඒ සඳහා හේතු කිහිපයක් පැවති බව සඳහන් කළ යුතුයි. මූලිකවම එකල පොලී අනුපාත අඩුවීම නිසා බැංකු පද්ධතිය තුළ බොල් ණය ප්‍රමාණය සෑහෙන දුරට අඩුවීමක් තිබුණා. ඕනෑම අයෙකුට තමා ලබාගත් ණය මුදල ගෙවා ගැනීමට හැකි මට්ටමක්, තමන්ගේ ආර්ථිකය තමන්ටම කළමනාකරණය කරගැනීමට හැකි පරිසරයක් එදා තිබුණා. දෙවැන්න, රටේ හොඳට බිස්නස් තිබුණා. ව්‍යාපාර හොඳට කරගෙන යෑම නිසා, ආදායම් වැඩිවූ නිසා බැංකුවලට, ෆිනෑන්ස් ආයතනවලට පොලු තියෙන පිරිස සමස්තයක් ලෙස සෑහෙන්න අඩුවුණා. අද සෑම බැංකුවක්ම පාහේ ඔවුන්ගේ බොල් ණය සෑහෙන්න වැඩිවී ඇති බව තමයි, කියන්නෙ. ෆිනෑන්ස් ආයතනයකින් ඇහුවත් කියන්නෙ, ඔය ටිකමයි.
අලුත් ප්රාග්ධනය සපයා ගැනීමත් අභියෝගයක්
මේ ආණ්ඩුව ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට ගිහිල්ලා, අපි සමහර අයගේ ණය කපා හරිනවා කියල කිව්වා. ඒ වෙනුවෙන් රජයෙන් මුදල් ලබාදෙනව කියල කිව්වාට, එහෙම දීපු මුදලකුත් නෑ. අන්තිමට, මේ ආයතනවලට ණය ගෙවාගෙන ආපු මිනිස්සුත් ණය ගෙවන එක නවතා දැමුවා. ඒ පැත්තෙනුත්, මූල්‍ය ආයතනවලට පාඩු සිදුවුණා. එහෙම හැම පැත්තකින්ම, බැංකු අංශයටත් පීඩනයක් පැමිණි විට, ඒ බැංකුවල අලුතින් ආයෝජනය කරන්න ඉදිරිපත් වන පිරිස් අඩුයි. අද මේ මූල්‍ය ආයතන කොටස් වෙළෙඳ පොළ තුළින් රු.බිලියන 5ක ප්‍රාග්ධනයක් සම්පාදනය කරගන්න ගියොත්, එන්නෙ බිලියන එකයි, නැත්නම් දෙකයි. ඒ විදියට, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන පැත්තෙනුත් අපි ලොකු ආවදානමක් අද දකිනවා. ඒ විදියට බැලුවාම, ආර්ථිකය හැසිරවීමේ මූර්ත, මූල්‍ය, බාහිර, රාජ්‍ය හා බැංකු යන විෂයන් පහෙන්ම මේ ආණ්ඩුව අසමත්. එහෙම අසමත් ආණ්ඩුවක අගමැතිවරයා ඇවිත්, 'ඔන්න දැන් අපි සංවර්ධනය කරනවා, හම්බන්තොටට අලුතින් තෙල් පිරිපහදුවක් ගේනවා, කුලියපිටියට කර්මාන්ත ශාලාවක් ගේනවා, ආර්ථික කලාප 20ක් හදනවා.' යැයි කියනවා. නමුත්, බොරුවලින්ම ආණ්ඩුවක් ගෙනියන්න බෑ. අද ජනතාවට යථාර්ථය පැහැදිලියි. අද ජනතාව බුද්ධිමත්. ජනතාව හැමදාම ගොනාට අඳින්න සූදානම් නෑ." යැයි පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd