කොවිඩ් වසංගතය හමුවේ නිවෙස්වල සිට අධ්‍යාපනය හැදෑරූ දරුවාගේ සිට දුරස්ථව සේවයේ යෙදුණු වෘත්තිකයා දක්වා රටේ සාමන්‍ය ජනජීවිතය මෙන්ම, ආර්ථික ක්‍රියාකාරකම් වසර දෙකකට ආසන්න කාලයක් සක්‍රීයව පවත්වා ගැනීමට දායකත්වය දැක්වූ විදුලි සංදේශන සේවාවන්ද, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි අභියෝගයකට මුහුණදී සිටින බව වාර්තා වෙයි.
මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ සියලු භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩිවන අතරේ තවමත් මිල ගණන් වැඩි නොවූ එකම ක්ෂේත්රය, සන්නිවේදන සබඳතා තවදුරටත් පුළුල් කරමින් කටයුතු කළ විදුලි සංදේශන සේවා ක්ෂේත්රය පමණක් බව එම ක්ෂේත්රයේ නිරත සමාගම් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පසුගිය මාර්තු මස 07දා රුපියල පා කිරීමට තීරණය කිරීමත් සමග, විදුලි සංදේශන සමාගම්වල මෙහෙයුම් පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව එම සමාගම් පෙන්වා දෙයි. විදුලි සංදේශන සේවා යනු ඉන්ධන මත යැපෙන සේවාවක් බැවින්, සන්නිවේදන කුලුණු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ජෙනරේටර් ක්‍රියාත්මක කිරීම සඳහා එම ඉන්ධන වැයවන බව ඔවුන් කියයි. ඒ අනුව ඉන්ධන මිල ඉහළ යාම විදුලි සංදේශන ක්ෂේත්රයටද සෘජුව හා දැඩිව බලපා තිබේ.
තවද, සන්නිවේදන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය මෙවලම් මුළුමනින්ම පාහේ ආනයනය කෙරෙන බැවින්, ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ යාම විදුලි සංදේශන සමාගම්වල මෙහෙයුම් පිරිවැයට බලපා ඇත. ඔවුන් පෙන්වා දෙන පරිදි, සබඳතා පවත්වා ගැනීම පිළිබඳ සැලකීමේදී වැඩිවී ඇති මෙම පිරිවැයවලට අමතරව, එම සමාගම් පවත්වා ගැනීමට දැරිය යුතු ප්‍රවාහන, විදුලි සහ අනෙකුත් පිරිවැයද ඉහළ ගොස් තිබේ. එවැනි පසුබිමක මෙතෙක් ජනතාවට බරක් නොවූ සේවා අතළොස්ස අතරින් ප්‍රධානතම සේවාවක් වූ විදුලි සංදේශන සේවා අඛණ්ඩව ලබාදීමට නම්, එම පිරිවැය පාරිභෝගිකයාගේ බිල්පතට එක්කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බැවින්, ජනතාව මතද අසීමිත බර පැටවීමකින් තොරව මෙම ගැටලු විසඳා ගැනීමට ඔවුන් බලධාරීන්ගේ කඩිනම් අවධානය බලාපොරොත්තු වෙයි.