ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායක සංසදය (SLAF) යනු වගාකරුවන්, ගොවි සංවිධාන, කෘෂි අගය එකතු කිරීමේ ව්‍යවසායකන්, කෘෂි වෘත්තිකයන් සහ විද්වතුන්, කෘෂි විද්‍යාඥයින්, දේශීය හා ගෝලීය කෘෂි නිෂ්පාදන අලෙවිකරුවන්, සහ කෘෂි යෙදවුම් සපයන්නන් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර සඳහා වන ප්‍රමුඛතම සංසදය වේ.
ශ්‍රී ලාංකේය ගොවියාගේ වර්තමාන අවම යැපුම් මට්ටමේ සිට රටේ ආර්ථිකයට දායක වන ප්‍රධාන කොටස්කරුවා බවට පත් කිරීමේ අපගේ අරමුණුවල කොටසක් ලෙස, ආරක්ෂිත කෘෂිකර්මාන්තය අවධානය යොමු කළ යුතු ක්ෂේත්රයක් ලෙස ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායක සංසදය හඳුනාගෙන ඇත.
ආරක්ෂිත ගෘහ ආශ්රිත කෘෂි වගාකරුවන් කෘෂි ව්‍යවසායකයෙකු ලෙස සාර්ථක වීමට දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා SLAF, හැටන් නැෂනල් බැංකුව (HNB), යුනිපවර් (Unipower) සහ CIC සමාගම් සමඟ එක්ව ආරක්ෂිත කෘෂිකර්මාන්තය පිළිබඳ වැඩමුළුවක් පසුගියදා කොළඹ 10, හැටන් නැෂනල් බැංකු සම්මන්ත්රන ශාලාවේදී පවත්වන ලදී.
මෙම අවස්ථාව වගාකරුවන්, කෘෂි යෙදවුම් සපයන්නන්, කෘෂි සේවා සහ උපකරණ සපයන්නන්, මූල්‍ය ආයතන සහ කෘෂි කාර්මික සිල්ලර වෙළෙඳ සමාගම් ඇතුළුව වගාකරුවන්ට අත්‍යවශ්‍ය සම්බන්ධතා සහ විසඳුම් ලබාදීමේ වේදිකාවක් ලෙස කටයුතු කළේය. සහභාගිවන්නන්ට ආහාරපාන සමග නොමිලේ පිරිනමන ලද සම්පූර්ණ දින වැඩමුළුව සැසි තුනකින් සමන්විත විය.
සමාරම්භක සැසිය සමන්විත වූයේ, කාලින හා දිශානු ගත මාතෘකා මත කරන ලද පහත සඳහන් දේශන වලිනි. පොලිටනල් ( ආරක්ෂිත ගෘහ ) වගා කරන්නන්ගේ ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායක සංසදයේ කාර්යභාරය පිළිබඳව එහි සභාපති රිස්වි සහීඩ් මහතා විසින් කරන ලද දේශනයකින්; CIC Agri Business (Pvt) Ltd හි කළමනාකාර අධ්යක්ෂ වරුණ මදවනආරච්චි මහතා විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂිත කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමේදී CIC හි කාර්යභාරය පිළිබඳ දේශනයක්; කෘෂි ව්‍යාපාර සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් පිරිනමනු ලබන සේවාවන් සහ ඒවාට ප්‍රවේශ වන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කුඩා හා සුළු පරිමාන ව්‍යවසායක අංශයේ නිෂ්පාදන සහ හවුල්කාරිත්ව ප්‍රධානී ආචාර්ය නිලූක අමරසිංහ විසින් ඉදිරිපත් කිරීමක් සහ යුනි පවර් Unipower (Pvt) Ltd සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජයන්ත රාජපක්ෂ මහතා විසින් පොලිටනල් වගාකරුවන් සඳහා ඉදිරි ගමන පිළිබඳ සාකච්ඡාවක් ද වේ.
ඉන් අනතුරුව පැවති තාක්ෂණික සැසියේදී Modern Agri (Pvt) Ltd සමාගම විසින් ආරක්ෂිත ගෘහ (පොලිටනල්) ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා වන උපදෙස් පිළිබඳ ඉදිරිපත් කිරීමක්, CIC Seeds (Pvt) Ltd විසින් පොලිටනල් වගාව සඳහා බෝග තෝරා ගැනීම පිළිබඳ ඉදිරිපත් කිරීමක් ඇතුළත් විය. Unipower (Pvt) Ltd මගින් උමං බෝග ශාක පෝෂක කළමනාකරණය, සහ Cropguard (Pvt) Ltd සමාගම මගින් පොලිටනල් වල පළිබෝධ සහ රෝග පාලනය කිරීමේ ඵලදායී ක්‍රම පිළිබඳවද ඉදිරිපත් කිරීම් කරන ලදී .
තුන්වන සැසිය ආරම්භ වන්නේ සිමා සහිත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keels Holdings PLC) විසින් වෙළෙඳපොළ මත පදනම් වූ නිෂ්පාදන සැලසුම් කිරීම පිළිබඳ ඉදිරිපත් කිරීමකිනි. ඉන් අනතුරුව සහභාගිවන්නන් මුහුණදෙන මූලික ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා විද්වත් සාකච්ඡාවක් සහ ගැටලු විසඳීමේ සැසියක් පැවැත්විණි.
මෙම වැඩමුළුව අතරතුර, ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායක සංසදය, ආරක්ෂිත කෘෂි ව්‍යවසායකයින් සඳහා ජාතික සංගමයක් පිහිටුවීමට නායකත්වය දුන් අතර, මෙම මුලපිරීම සඳහා මූලික කණ්ඩායමක් හඳුනා ගන්නා ලදී. යෝජිත සංගමය මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂිත කෘෂිකාර්මික අංශයට විශාල ප්රතිලාභ රැසක් අත්කර දීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායක සංසදයේ සභාපති රිස්වි සහීඩ් මහතා ප්‍රකාශ කළේ, එම සංසදයේ මුල් අභිප්‍රාය වූයේ හුදෙකලාව සේවය කරන නොයෙක් අංශ වල කෘෂිකර්මාන්තයේ පාර්ශවකරුවන් සහ දැනුවත් පුද්ගලයින් සම්බන්ධ කිරීම බවය. මෙම අරමුණ ආරක්ෂිත කෘෂිකාර්මික අංශය හරහා ඉටුවනු දැකීමට ලැබීම ගැන ඔවුන් සතුටුවන බවද සඳහන් කළේය.
එම චේතනාව ක්‍රියාත්මක වීම සහ ඵලයට පැමිණීම තුලින් ශ්‍රී ලංකාවට සැබවින්ම වත්මන් අර්බුදය ජයගෙන ස්වයංපෝෂිත සමෘද්ධිමත් යුගයකට පිවිසිය හැකි සහයෝගී ප්රයත්නයන් දියත්වීම අත්‍යාවශ්‍ය කරුණකි. කෘෂි ක්ෂේත්රය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ඔබ සැමට ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායක සංසදය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසත්, ඒක පුද්ගල, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක, ආයතනික සහ ආයතනික සාමාජිකයින්ගෙන් සමන්විත අපගේ දිනෙන් දින වර්ධනය වන සාමූහික ආවරණය යටතට පැමිණෙන ලෙසත් ඔවුන් ආරාධනා කර සිටී.