2022 වසරේ ජූලි මාසයේදී අපනයන ආදායම ඉහළ යමින්, ආනයන වියදම අඛණ්ඩව පස්වැනි මාසයටත් වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පහළ ගොස් තිබේ.
මෙසේ ආනයන වියදම් පහළ යෑම හේතුවෙන්, 2021 වසරේ ජූලි මාසයේ පැවති වෙළෙඳ ශේෂයේ හිඟයට (එ.ජ.ඩො.මිලියන -606) සාපේක්ෂව, 2022 ජූලි මාසයේ වෙළෙඳ හිඟයෙහි (එ.ජ.ඩො.මිලියන -123) සැලකිය යුතු පහළ යෑමක් වාර්තා වූ අතර, එමගින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ වූ පීඩනයේ අඩුවීමක් දක්නට ලැබෙන බව මහ බැංකුව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සමස්ත පහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් 2022 වසරේ ජූලි මාසයේදී මෙසේ ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, හදිසි නොවන ආනයන වියදම් සීමා කිරීම සඳහා ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගද ආනයන ඉල්ලුම් පීඩනය පාලනය කිරීමට උපකාරී විය.