ආදායම් බදු දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් බදු රුපියල් බිලියන දෙසීය ඉක්මවූ මුදල, අලුතින් නීති පනවා හෝ අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
දෙහිඕවිට මහායාය ප්‍රදේශයේ අද (12දා) සවස පැවති උත්සවයක් අවස්ථාවේදී පුවත් වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ මාධ්‍ය වාර්තාවල සඳහන් ආකාරයට රුපියල් බිලියන 200කට වැඩි හිඟ මුදලක් අයවීමට ඇතත් එම මුදල වසර 30ක පමණ කාලයක සිට එකතු වූ මුදල් බවය.
කෙසේ වෙතත්, මෙම හිඟ මුදල් අයකර ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් වෙනම කණ්ඩායමක්ද පත්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම, වාහන ආනයන සීමා පනවා තිබියදී, මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 100 ඉක්මවා වාහන ආනයනය කර තිබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ එම වාහන ගෙන්වා ඇත්තේ 2021 වසරේදී බවය.
කෙසේ වුවද, වතුර බවුසර්, ගිලන් රථ ආදිය ගෙන්වා ඇතත් කිසිදු සුඛෝපභෝගී වාහනයක් ගෙන්වා නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශය මුදල් ලබා නොදීම හේතුවෙන් අමාත්‍යාංශ කිහිපයක් අර්බුධවලට මුහුණ පෑම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රටම අර්බුධයකට මුහුණ පා සිටින අවස්ථාවක එවැනි දේ සිදුවිය හැකි වුවත්, නියමිත අනුපිළිවෙළක් අනුව අත්‍යාවශ්‍ය කටයුතු සඳහා වියදම් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.