2020 වසරේ අප්‍රේල් මාසයේ සිටම කිසිවක් නොකර සිටීමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ ඔඩුදුවා ඇති ආර්ථික අර්බුදය දෙස බැලීමේදී ශ්‍රී ලංකාව යනු දැනටමත් බංකොලොත් වී ඇති රාජ්‍යයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.
විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයකටත් වඩා අඩුවී, විදේශ ණය ගෙවාගැනීමට නොහැකි සහ එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දැඩි අසීරුතාවකට රට මුහුණදී සිටින බව රජයේ පාර්ශ්වයෙන්ම පිළිගෙන ඇති පසුබිමක ශ්‍රී ලංකාව මේ වනවිට බංකොලොත් රාජ්‍යයක් දැයි 'අද' කළ විමසීමකදී මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය.
"බංකොලොත් කියලා කිව්වොත්, මේක තමයි තත්ත්වය. සාමාන්‍යයෙන් මනුස්සයෙක් බංකොලොත් කියන්නෙත්, කන්න බොන්න හොයාගන්න විදියක් නැතිව, ඊළඟ කෑම වේල ලැබෙන්නෙ කොහොන්ද කියලා දන්නෙ නැතිව, ණය ගෙවාගන්න විදිහක් නැතිව ඉන්න විටයි. ඒ අනුව පුද්ගලයෙකුගේ බංකොලොත්වීම, රටකටත් සමානයි.
ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගත්තොත්, වසරකට ඇ.ඩො.බිලියන 7ක් - 8ක් එන මාර්ගයක් නැතිව ඉදිරියට යන්න විදියක් නෑ. ඒ වගේම මේ අවුරුද්දෙ ලබන මාස ටික ගත්තොත්, එලැඹෙන ජූනි මාසය වෙද්දි තවත් ඇ.ඩො.බිලියනයක ණයක් ගෙවන්න තියෙනවා. ඒ කියන්නෙ, අපට කන්න බොන්න, තෙල්, ගෑස්, බේත්හේත් ආදිය ගැනීමට අමතරවයි. මේ විදේශීය ණය මහ බැංකුවේ සංචිතවලින් ගෙවාගන්න පුළුවන් වෙයි, සංචිත තිබුණොත්. සමහර විට කාගෙන් හරි ඉල්ලලා ඒවා ගෙවාගන්නත් සමහර විට පුළුවන් වෙයි. ඇතැම් ණය නොගෙවා කල්දමා ගන්නත් පුළුවන් වෙයි. ඒ වගේ පොඩි පොඩි පැලැස්තර දැමීම් තමයි, කරන්න තියෙන්නෙ.
නමුත් ලොකු ප්රශ්නය ඊට වඩා බරපතළ වෙන්නෙ, අපි මේ අවුරුදු දෙකක කාලයක් පුරා කිසිවක් නොකර සිටීමේ ප්‍රතිඵලයක් තමයි, අද මේ බුක්ති විඳින්නෙ. අපි පහුගිය අවුරුදු දෙක පුරාම, ඒ කියන්නෙ 2020 අප්‍රේල් ඉඳලා මේ ප්‍රශ්නයට කිසිම දෙයක් කළේ නෑ. එක එක්කෙනාගෙන් ණය ඉල්ලගෙන ණය ටික ගෙවාගෙන ආපු එක විතරයි, අපි කළේ. අපි දැනටත් යන්නෙ ඒ පාරෙම තමයි. ඒක තව මාසයක් දෙකක් අල්ලගෙන ඉන්න පුළුවන් වෙයි.
නමුත් ඉන්දියාවෙන් ගත්ත ක්‍රෙඩිට් ලයින් එක ඉවර වෙනකොට අපි ඉන්නෙ වැට උඩ. මොකද, මේ වැට උඩ කියලා කියන්නෙ, රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, තෙල්, ගෑස්, බේත්හේත් ටික ගෙන්වා ගන්න අපිට ක්‍රමයක් නැත්නම්, ඇත්ත වශයෙන්ම රට බංකොලොත් තමයි. කාගෙන් හරි තව සල්ලි ටිකක් ඉල්ල ගත්තොත්, සමහර විට ටිකක් පිරිමසා ගන්න පුළුවන් වෙයි. නමුත් ඇත්ත වශයෙන්ම අපි දැනටමත් බංකොලොත් වෙලා ඉන්න රටක්." මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.