සිය ආයතනික සමාජ වගකීම්හි තවත් එක් ව්‍යාපෘතියක් නිම කරමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තම දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන් වෙත අත්‍යාවශ්‍ය ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය බෙදා හැරීම, පසුගියදා සිදු කළේය. මෙම මුලපිරීම යටතේ ඇමරිකානු ඩොලර් 100,000ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තම අවට ප්‍රජාවන්ට ලබා කටයුතු කර තිබේ.
“අපගේ වැඩසටහන් සාමාන්‍යයෙන් යොමු වන්නේ වඩාත් තිරසාර ක්රමයකටයි. එයින් අප බලාපොරොත්තු වන්නේ මෙම ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කරමින්, ඔවුන් හට සැපයුම් දාමයන්හි ක්‍රියාකාරී කොටසක් ලෙස ක්‍රියා කිරීමට හැකි වන පරිදි ජීවන රටා නංවාලීමයි. එසේ නමුත්, රට තුළ පවතින වර්තමාන තත්වය යටතේ දෛනික අත්‍යවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඔවුනට සහය අවශ්‍ය බව අපට වැටහෙනවා. මෙම අවශ්‍යතා ඔවුන්ට සෘජුවම ලබා දීමට අප තීරණය කළේ එනිසා,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIP) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පවසයි.
අවට ප්රජාවන්ගේ ජීවිත ගොඩනැගීම, තම ව්‍යාපාරික මෙහෙයුම්හි සංවර්ධනය හා සමානව වැදගත් බව බව, ප්‍රධාන විධායක නිලධාරීවරයා තවදුරටත් සඳහන් කරයි. “අපි සෑම විටම අප අවට පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන අතර ඔවුන්ගේ වර්ධනය සහ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියා කරනවා. කලාපය තුළ තවත් රැකියා උත්පාදනය කරමින්, අප අවට ප්රජාවන්ගේ යහපැවැත්ම සහතික කිරීම අපගේ අභිප්‍රායයි.” ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසන්නේ, HIPG විසින් මෙහෙයවනු ලබන සංවර්ධන කටයුතුවල ප්රතිලාභ වරාය අවට ප්‍රජාවන්ට නිරතුරුවම හිමි වන බවයි.
ගල්විල විහාරස්ථානයේ “සම්මාවායාම” සමාජ සත්කාර පදනම හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. පදනමට අයත් ප්‍රධාන විහාරස්ථාන 9ක් සම්බන්ධ කරගනිමින්, ඒ ඒ විහාරස්ථානවලට සම්බන්ධ මධ්‍යස්ථාන 6ක් ඔස්සේ, කොට්ඨාශ 7ක බෙදා හැරීමේ කටයුතු සිදු කරන ලදී. ඒ හරහා අඩු වරප්‍රසාද ලත් පවුල් 1,250කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ දහම්පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 700 කට ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත් පත් ලබා දීමට වරායට හැකි විය.
මෙය HIPG විසින් 2018 වසරේ සිට, දහම් පාසල් දරුවන්ට ආහාර වේලක් සැපයීම තුළින් දිස්ත්‍රික්කවල බෞද්ධ විහාරස්ථානවලට සපයනු ලබන සහයෝගයේ තවත් එලයකි. චයිනා මර්චන්ට් ගෘප්හි, ආයතනික හා සමාජ වගකීම් ඒකකය වන චයිනා මචන්ට් ෆවුන්ඩේෂන් (CMF) මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දැක්වූ අතර, එහි සම්බන්ධීකරණය HIP විසින් සිදු කරන ලදී. සමාගමේ එක් එක් දෙපාර්තමේන්තු, සෑම මධ්‍යස්ථානයක් සඳහාම වගකීම භාර ගනිමින්, මෙම මුලපිරීම සඳහා සමස්ත ලෙස සහභාගී විය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් ගල්විල විහාරස්ථානයේ මහ නාහිමියන් වන විමලබුද්ධි ස්වාමීන්වහන්සේ කියා සිටියේ මෙම පිංකම, දිළිඳුකම පිටුදැකීම පිළිබඳව බුදුදහමේ සඳහන් වන උපදේශයන්ට අනුකූල බවයි.
පහළ බෙරගම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රියානි සෙනෙවිරත්න මහත්මිය පැවසූවේ, “ඇත්තටම අපි සමෘද්ධිලාභීන්. ඒත් රටේ දැනට පවතින ආර්ථික තත්වය නිසා අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. පුතාලා පොඩි පොඩි කුලී වැඩ කරනවා ඒත් දැන් ඒ වැඩත් නැහැ. ඉතින් මේ ලබා දුන් බඩු මල්ල ලොකු පිටුවහලක් වෙනවා අපගේ එදිනෙදා ජීවිතයට.” යනුවෙනි.
2022 මැයි 27 වන දින, හම්බන්තොට ජත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය වන ‘අපේක්ෂාවේ ගම්මානය’ (Hope Village) සංකේතාත්මකව අරඹනු ලැබීය. සත්ව පාලනය සහ කෘෂිකර්මාන්තය සඳහා ප්‍රජාවන් සම්බන්ධ කිරීම තුළින්, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාලීම මෙන්ම ඔවුන්ගේ අතිරික්ත නිෂ්පාදන අලෙවි කිරීමටද අවකාශ ලබා දී එතුළින් ග්‍රාමීය ප්‍රජාව නඟා සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
“මෙම නිෂ්පාදනවලින් යම් කොටසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නේවාසික කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහාද අලෙවි කිරීමට ඔවුනට හැකි වනු ඇති” යි මානව සම්පත් හා පරිපාලන ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී ජීවන් ප්‍රේමසර මහතා පවසයි.