ෆ්රැන්ක්ෆර්ට් සිට කොළඹ බලා වූ UL554 යානයේ ගුවන් නියමුවෙකු මත්පැන් පානය කර සිටීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ ගුවන් නියමු බලපත්‍රය තාවකාලිව අතිහිටුවීමට සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අනයුක්ත මෙම ගුවන් නියමුවා වෙත ලිපියක් යොමු කරමින් සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුගේ ගුවන් නියමු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත්තේ මත්පැන් පානය කර සිටීම, ඒ තුළින් සිදුවූ ගුවන් ගමන් ප්‍රමාදය හා මගීන්ට සිදුවූ දැඩි අපහසුව සැලකිල්ලට ගෙන ගුවන් ආරක්ෂණ ක්‍රියාවලිය විධිමත්ව පවත්වා ගැනීමේ අරමුණ ඇතිවය.
එමෙන්ම, මෙම ක්‍රියාව තුළින් ගුවන් යානා සමාගමට හා රටට සිදුවන මහත් වූ අපකීර්තියද අවධානයට යොමු කරමින් මෙම තාවකාලික අත්හිටුවීම සිදුකිරීමට අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කර ඇත.
ඒ අනුව, සිය බලපත්‍රය තාවකාලික අත්හිටුවීම සම්බන්ධයෙන් අදාළ ගුවන් නියමුවා දින හතක් ඇතුළත පිළිතුරු ලබාදිය යුතු වන අතර, එසේ පිළිතුරු ලබාදීමට අපොහොසත් වුවහොත් ඔහුගේ බලපත්‍රය දීර්ඝ කාලීනව අත්හිටුවීමක් පවා සිදුවිය හැකි බවද කියැවෙයි.
පසුගිය 19 වැනිදා ෆ්රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළ බලධාරීන් විසින් ප්‍රමාද වී පැමිණි අදාළ ගුවන් නියමුවා සම්බන්ධයෙන් සිදුකළ මධ්‍යසාර පරීක්ෂණයෙන් ඔහු අසමත් වී තිබූ අතර, මේ හේතුවෙන් එම යානය නියමිත වේලාවට ගුවන්ගත කරවීමට නොහැකිව දැඩි ප්‍රමාදයක්ද සිදුව තිබූ බව වාර්තා විය.