ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය මුහුණදී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳව සලකා බලා එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපළ ඇ.ඩො.දශ ලක්ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා එහි අධ්යක්ෂ මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම, ඒ සඳහා පහසුකම් සැලසීමටත් මහ බැංකුව පියවර ගන්නා බවත්, එකී ගනුදෙනුව ශ්‍රී ලංකාවේ පවතින නීතිරීති සහ රෙගුාලසිවලට අනුකූලව විය යුතු බවත් මහ බැංකුව දැනුම් දී තිබේ.
ඒ අනුව, අදාළ ගැනුම්කරු විසින් ගෙවිය යුතු එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක මුදලින් ඩොලර් දශ ලක්ෂ 32ක මුදලක් දැනට ලබාදී ඇති අතර, එය ශ්‍රී ලංකා මුදලින් රු. දශ ලක්ෂ 5,017.6ක් ලෙස ETI ආයතනය වෙත ලැබී ඇති බව මහ බැංකුව පවසයි. එහිදී, තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව එසේ ලැබී ඇති මුදලින් ETI ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් 10%ක මුදලක්, එනම් ආසන්න වශයෙන් රු. දශ ලක්ෂ 3,350ක මුදලක් සහ 2018 මැයි මාසය අවසානය වනවිට ගෙවිය යුතු වන පොලී මුදල්, ආසන්න වශයෙන් රු. දශ ලක්ෂ 1,400ක් පමණ තැන්පත්කරුවන් වෙත ගෙවීමට උපදෙස් ලබාදී තිබේ. මෙම ගෙවීම 2018.06.05 දින ආරම්භ කෙරෙනු ඇති බවද මහ බැංකුව පවසයි.
එමෙන්ම, එම ආයතනයේ තැන්පතු වගකීම්වලින් තවත් 10%ක මුදලක් ඉහත කී වත්කම් විකිණීමෙන් ලැබෙන ඉතිරි මුදලින් (එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 43) ගෙවීමටත් ETI ආයතනය වෙත උපදෙස් ලබාදී තිබේ. 2018.06.05 වැනි දින ආරම්භ වන ගෙවිම් සැලැස්ම පිළිබඳ විස්තර තැන්පත්කරුවන් වෙත ETI ආයතනය විසින් ඉක්මනින් දැනුම්දෙනු ඇති බවද මහ බැංකුව පවසයි.