කොළඹ කොටස් වෙළෙඳ පොළ නැවත වතාවක් ඉහළ යමින් තිබෙන බව පසුගිය සතියේදී වාර්තා විය. කොළඹ කොටස් වෙළෙඳ පොළ මගින් නිකුත් කර තිබෙන දත්ත මගින් මේ වසරට මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ 6.1% ක ප්‍රශතයකින් ඉහළ ගොස් ඇත. අප්‍රේල් මාසයේදී පමණක් කොටස් වෙළෙඳ පොළ ඉහළ යාම 9%ක් පමණ විය. කොළඹ කොටස් වෙළෙඳ පොළ වාර්තාවලට අනුව මෙම ඉහළ යාමට සක්‍රීයව දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන්ගේ ගනුදෙනුවල බලපෑමයි. වාර්තාවලට අනුව මේ වසරට මේ දක්වා කොටස් වෙළෙඳ පොළ හරහා රට තුළට පැමිණ ඇති ඇති ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රු.බිලියන 16 ඉක්මවයි. එමෙන්ම මේ වසරට මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළේ වාර්තා වී ඇති මුළු පිරිවැටුමෙන් 51% කට පමණ දායක වී ඇත්තේ විදේශීය ආයෝජකයන්ය.
මේ අනුව බලනවිට පෙනී යන්නේ කොටස් වෙළෙඳ පොළ ඉහළ ගොස් ඇත්තේ විදේශීය ආයෝජකයන්ගේ පැමිණීම නිසා බවය. පොලී අනුපාත ඉහළ ගොස් ඇති අවස්ථාවක විදේශීය ආයෝජකයින්ගේ මෙම පැමිණීම ඉතා ප්‍රශස්ථ මට්ටමක පවතී. එමගින් පෙනී යන්නේ ඔවුන් රටේ අනාගත ආර්ථික තත්ත්වය පිළිබඳව යහපත් ලෙස සිතන බවය. යම් අයෙකු වර්තමානයේදී කොටස් මිලදී ගනු ලබන්නේ අනාගතයේදී එම කොටස් ඉහළ මිලකට විකුණා ලාභ ලබාගැනීමේ පරමාර්ථයෙනි. විදේශීය ආයෝජකයන් මෙය සිදුකරනු ලබන්නේ දිගු කාලීන අරමුණු මත පිහිටාය. ඔවුන් බොහෝ විට අද කොටස් මිලදී ගෙන හෙට කොටස් විකුණා ලාභ ලබා ගැනීමට උත්සුක නොවේ. ඔවුන් සිදුකරනු ලබන්නේ දිගු කාලීන ආයෝජනයන්ය.
කොටස් වෙළෙඳ පොළ මෙසේ ඉහළ නැගීමේදී දේශීය ආයෝජකයන්ගේ හැසිරීම සලකා බැලීව අත්‍යවශ්‍ය වේ. වාර්තාවලට අනුව මේ වසරේ මේ දක්වා මුළු පිරිවැටුමෙන් 28.7% කට දායක වී ඇත්තේ දේශීය සමාගම් වන අතර, දේශීය තනි පුද්ගල ආයෝජකයන් මුළු පිරිවැටුමෙන් 20.5% කට දායක වී ඇත. කොටස් වෙළෙඳ පොළ විශාල ලෙස ඉහළ ගොස් තිබූ සමයේදී දේශීය ආයෝජකයන්ගේ දායකත්වය සමහර අවස්ථාවලදී මුළු පිරවැටුමෙන් 60% ඉක්මවා තිබෙනු දක්නට ලැබුණි. වර්තමානයේ වාර්තා වී ඇති ආකාරයට සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවක භාරකාර අරමුදල (ETF) ඇතුළු අනෙකුත් අරමුදල් වර්තමානයේදී කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කර ඇත්ෙත් ඉතා සීමා සහිතවය.
පසුගිය සතියේදී මාධ්‍ය වාර්තාවක කියවුණේ, EPF මගින් වසර 2016 දී කොටස් මිලදී ගෙන තිබුනේ ලැයිස්තුගත සමාගම් 09ක් පමණක් බවය. කොටස් වෙළෙඳ පොළ ඉහළ යමින් පවතින මෙවැනි අවස්ථාවක EPF සහ ETF වැනි අරමුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය නොකිරීම කණගාටුවට හේතුවන කරුණකි. EPF වැනි අරමුදල් ඇති වූ ප්‍රශ්න හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය නොකිරීම තේරුම්ගත හැකි කරුණකි. නමුත් ඔවුන් කොතරම් කාලයක් මෙම කොටස් වෙළෙඳ පොළ වර්ජනය සිදු කරන්නේද යන්න පිළිබඳව සිතා බැලිය යුතුවේ. මෙම අරමුදල්වලින් එහි ප්‍රතිලාභීන් බලාපොරොත්තු වන්නේ ඉහළ ප්රතිලාභයකි. සෑම දායකයෙකුම බලාපොරොත්තු වන්නේ මෙම අරමුදල් තම මුදල් විවිධ ආයෝජන මාර්ගවල නැණවත්ව ආයෝජනය කරනු ඇතැයි කියාය. වසර කිහිපයකට ප්‍රථම EPF වැනි අරමුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳව ගැටලු මතුවී ඇත. ඔවුන් කොටස් වෙළෙඳ පොළේ සිදුකර ඇති ආයෝජන පිළිබඳව එනම්, මිලදී ගෙන ඇති සමාගම් කොටස් පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරනු ලබයි.
මක්නිසාද යත් එසේ මිලදී ගෙන ඇති සමහර කොටස් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටී එම අරමුදල්වලට ප්‍රාග්ධන අලාභ සිදුවී ඇති බැවිනි. එම අරමදුල් එම කාල වකවානුවේදී එවැනි සමාගම්වල කොටස් මිලදී ගත්තේ ඇයිදැයි යන්න පිළිබඳව සහ එම කොටස් මිලදී ගැනීමේ පදනම පිළිබඳව එම අරමුදල්වල එම කාල වකවානුවේදී ආයෝජන භාරව සිටි පුද්ගලයන් විසින් පැහැදිලිව අදහස් දක්වා සිටිය යුතුය. ඔවුන් එම ආයෝජනය සිදුකළේ ඇයිද යන්න පිළිබඳවත් එම ආයෝජන සිදුකිරීමට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳවත් සහ එම ආයෝජන සිදුකළ ක්‍රියා පටිපාටිය පිළිබඳවත් ඔවුන් පැහැදිළි කළ යුතුවේ. එසේ නොවීම හේතුවෙන් මහජනයා තුළ ඇති වී ඇති අදහස නම් EPF වැනි අරමුදල් තම මුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර එම මුදල් නාස්ති කරගත් බවය. සමහර අරමුදල් සිදුකරන ලද වැරදි ආයෝජන පිළිබඳව මෙවැනි මතයක් මහජනයා තුළ ඇතිවීම නොවැළැක්විය හැකිය. එමෙන්ම වෘත්තීය සමිති ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ බොහෝ විට පවසනු ලබන්නේ EPF වැනි අරමුදල් කොටස් වෙළෙඳ පොළේ මුදල් ආයෝජනය නොකළ යුතු බවය. ඔවුන් එසේ පවසා සිටිනුයේ අප ඉහතින් සඳහන් කර ඇති කාරණා හේතුවෙනි.
මෙහිදී අප විසින් නීරීක්ෂණය කළ යුතු කරුණක් වන්නේ EPFසහ ETF වැනි අරමුදල්වලට කොටස් වෙළෙඳ පොළ අකැපද යන්නයි. මේ වසර මුලදී මෙම අරමුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර තිබුනේ නම් මාස 04ක කාලය තුළ 6% ක ප්‍රතිලාභයක් ලබාගත හැකිව තිබුණි. මෙම අප්‍රේල් මාසයේ ආයෝජනය කළේ නම් මාසය අවසානයේ 9% ක පමණ ප්‍රතිලාභයක් ලබාගත හැකිව තිබුණි. මෙහිදී ප්රතිලාභ යනුවෙන් අදහස් කරනු ලබන්නේ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකයේ ඉහළ යාමයි. එයට අමතරව ලාභාංශ ඇතුළු අනෙකුත් ප්‍රතිලාභද ඇත. කොටස් වෙළෙඳ පොළේ ඇති සමහර සමාගම් මේ වසරට 6% කට වැඩියෙන් ඉහළ ගොස් ඇත. සමහර බ්ලූචිප් සමාගම් (ඉහළ කාර්ය සාධනයක් සහිත සමාගම්) 10% - 15% ක පමණ ඉහළ වර්ධනයක් පෙන්වා ඇත. මෙසේ ඉහළ කාර්ය සාධනයක් සහිත සමාගම් මේ වසරේ 10% - 15% ක පමණ ඉහළ යෑමක් වාර්තා කර තිබෙන විට EPF වැනි අරමුදල් කොටස් වෙළෙඳ පොළ දෙස නොබැලීම ඉතාම කනගාටුවට කරුණකි. කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළ වැටී තිබෙන විට එම අරමුදල් කොටස් මිලදී ගෙන තිබුනේ නම් කොටස් වෙළෙඳ පොළ නැවත වතාවක් ඉතා ඉහළ මට්ටමකට පැමිණෙන විට එම කොටස් විකුණා ඉහළ ප්‍රතිලාභයක් ලබාගැනීමට එම අරමුදල්වලට හැකියාව තිබුණි. නමුත් කොටස් වෙළෙඳ පොළ කොතරම් ප්‍රමාණයකට ඉහළ යයි දැයි යන්න උපකල්පනය කිරීම අපහසු කරුණකි. දැනට සමස්ත මිල දර්ශකය පවතින්නේ ඒකක 6,600 මට්ටමේය.
ඉතිහාසයේ කොටස් වෙළෙඳ පොළ වාර්තා කර ඇති ඉහළම අගය වන්නේ ඒකක 7,800 මට්ටමයි. ඒ අනුව, ඉතිහාසයේ වාර්තා කර ඇති ඉහළම අගයට පැමිණීමට නම් කොටස් වෙළෙඳ පොළ තවත් ඒකක 1,200ක් පමණ ඉහළ යා යුතුය. ඒ අනුව, කොටස් වෙළෙඳ පොළ තවමත් පවතින්නේ යම් පහළ මට්ටමකය. එයින් හැෙඟන්නේ කොටස් වෙළෙඳ පොළ එහි ඉහළම තලයට පැමිණීමට තව කාලයක් ගතවිය හැකි බැවිනි. යම්කිසි අවස්ථාවකදී ඉහළම අඩියකට පැමිණි විට එය නැවත වතාවක් යම්කිසි ආකාරයකින් පහළ වැටීම නොවැළැක්විය හැකි කරුණකි. එය ඕනෑම කොටස් වෙළෙඳ පොළක ස්වාභවයයි. එහෙත් එහි ඉහළම අගය ඒකක 7,800ක් නොව වෙනත් ඉහළ මට්ටමක් විය හැකිය. මීට මාස කිහිපයකට පෙර පැවතියේ පහළ වැටෙමින් පවතින කොටස් වෙළෙඳ පොළකි. දැන් පවතින්නේ ඉහළ යමින් පවතින කොටස් වෙළෙඳ පොළකි. කොටස් වෙළෙඳ පොළට ආයෝජකයන් සම්බන්ධ විය යුත්තේ කොටස් වෙළෙඳ පොළ පහළ වැටී තිබෙන විටය. නැතහොත් ඉහළ නැගීමක් පෙන්නුම් කරන විටය. එසේ නොමැතිව ඉහළම තලයකට පැමිණි විට නොවේ. එවිට සිදුකළ යුතු වන්නේ අඩු මිලට මිලදී ගත් කොටස් ඉහළ මිලට විකුණා ලාභ ලබා ගැනීමය. එය EPF, ETF වැනි අරමුදල් තේරුම්ගත යුතුවේ. ඔවුන් තේරුම්ගත යුතු ප්‍රධානතම කරුණක් වන්නේ මීට මාස කිහිපයකට පෙර තමන් කොටස් මිලදී ගත යුතුව තිබූ බවය. එසේත් නැත්නම් වර්තමානයේදී කොටස් මිලදී ගත යුතු බවය. ඔවුන් විදේශ ආයෝජකයන්ගේ හැසිරීම අධ්‍යයනය කළ යුතුය. විදේශ ආයෝජකයන් කොටස් මිලදී ගනු ලබන්නේ කොටස් වෙළෙඳ පොළ මනාව අධ්‍යයනය කිරීමෙන් පසුවය. කොටස් තැරැව්කාර ආයතන වාර්තාවලට අනුව විදේශ අයෝජකයන් මේ වසරේදී කොටස් මිලදී ගෙන තිබෙන්නේ ඉහළ කාර්ය සාධනයක් සහිත සමාගම්වලය. අතීතය දෙස බලා සිදුවූ වැරදි නිවැරදි කරගෙන EPF වැනි අරමුදල් නැණවත්ව ආයෝජනය කිරීමය. එසේ නොමැතිව අතීතයේ සිදුවූ වැරදි හේතුවෙන් වර්තමානයේදී ආයෝජනය සිදු නොකර සිටිය යුතු නොවේ. අතීතයේ වැරදි සිදුකළ අය හට එරෙහිව පියවර ගැනීම අවශ්‍යය. නමුත් එය වර්තමානයේදී අයෝජනය නොකිරීමට කාරණාවක් නොවේ.
එමෙන්ම මහජනයාද තේරුම්ගත යුතු කරුණක් වන්නේ මෙම අරමුදල් කොටස් වෙළෙඳ පොළේ නැණවත්ව ආයෝජනය කළහොත් ඉහළ ප්‍රතිලාභයක් ලබාගත හැකි බවය. එසේ නොමැතිව කොටස් වෙළෙඳ පොළේ මුදල් දැමීම මකර කටේ මුදල් දැමීමක් ලෙස සිතිය යුතු නොවේ. ඉහළ ප්‍රතිලාභයක් ලබාගත හැකියැයි සිතන අවස්ථාවක එම අරමුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කළ යුතුවේ. එසේ අයෝජනය කිරීමේදී ඉහළ කාර්ය සාධනයක් සහිත සමාගම්වල ආයෝජනය කිරීම ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීස්ල් හෝල්ඩින්ස් සමාගමේ කොටසක මිල මීට මාස කිහිපයකට පෙර පැවතියේ කොටසක් රු.140/- ක් වශයෙනි. මේ වනවිට එය රු.161/- දක්වා ඉහළ ගොස් ඇත. ජෝන් කීල්ස් සමාගම පමණක් නොව කොළඹ කොටස් වෙළෙඳ පොළේ S&P SL 20 දර්ශකයේ ඇති බොහෝ සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යමින් පවතී. EPF වැනි අරමුදල් වැඩි වශයෙන් ආයෝජනය කළ යුත්තේ මෙවැනි සමාගම්වලය.
S&P SL 20 දර්ශකයේ ඇති මෙම සමාගම් 20 ට අමතරව කාර්ය සාධනය ඉහළ තවත් සමාගම් බොහොමයක් කොටස් වෙළෙඳ පොළේ ඇත. මෙම අරමුදල් සිදුකළ යුතු වන්නේ කාර්ය සාධනය අතින් ඉතා ඉහළ මට්ටමක පවතින සමාගම්වල කොටස් මිලදී ගැනීමය. ඔවුන් සිදුකළ යුතු නොවන්නේ බොහෝ විට Junk Stocks යනුවෙන් හඳුන්වන කාර්ය සාධනය අවම කොටස් මිලදී ගැනීමය. එසේම කාර්ය සාධනය අතින් පහළ මට්ටමක පවතින සමාගම් පිළිබඳව ඔවුන් අවධානය යොමුකළ යුතු නැත . එමෙන්ම එම අරමුදල් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කළ යුත්තේ දිගු කාලීන අරමුණු පෙරදැරි කරගෙනය. එසේ නොමැතිව කලින් පැවසූ පරිදි අද කොටස් මිලදී ගෙන හෙට ලාභ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් නොවන බවද මෙහිදී පැවසිය යුතුය. නැවත සිහිපත් කළ යුතු වන්නේ විදේශ ආයෝජකයන් බොහෝවිට ආයෝජනය කරනු ලබන්නේ දිගු කාලීන පරමාර්ථ පෙරදැරි කරගෙන බවය. ඔවුන්ට කැසිනෝ මානසිකත්වයක් නොමැත. මෙහිදී බ්ලූචිප් හෙවත් ඉහළම කාර්ය සාධනයක් සහිත සමාගම් පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළේ එම සමාගම්වල කොටස් මිලදී ගැනීම අවදානම අඩු ආයෝජනයක් වන බැවිනි.
EPF සහ ETF වැනි අරමුදල් කොටස් වෙළෙඳ පොළේ නැණවත්ව ආයෝජනය කළහොත් එම අරමුදල්වලට මෙන්ම එහි ප්රතිලාභ ලාභීන්ටද ඉහළ ලාභයක් ලබාගත හැකිය. සිදුකළ යුතු වන්නේ නැණවත් කණ්ඩායමක් විසින් නැණවත්ව ආයෝජනය කිරීම පමණි. එසේ නොමැතිව අතීතයේ සිදුවූ වැරදි දෙස බලා කනගාටු වෙමින් වර්තමානයේ ඇති ආයෝජන අවස්ථා පැහැරහැර ගැනීම නොවේ. එය එම අරමුදල්වලට මෙන්ම එහි ලාභ ලබන්නන්ටද සිදුකරනු ලබන අසාධාරණයකි.