ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවා තොරතුරු අපහසුවකින් තොරව ලබාගැනීම සඳහා ස්වයංක්‍රීය ඊ-තොරතුරු පද්ධතියක් ආරම්භ කිරීම පසුගිය 06දා සිදුව තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත, අධ්යක්ෂ ජෙනරාල් ජීවනී සිරිවර්ධන යන මහත්මීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අපනයන මණ්ඩල පරිශ්‍රයේදී එය විවෘත කර තිබේ.
ස්පර්ශක තිරයක් සහිත ස්වයංක්‍රීය ඊ-තොරතුරු පද්ධතියක් භාවිතයෙන් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සේවා පිළිබඳ තොරතුරු සැපයීම වර්තමානයේ ඉමහත් ජනප්‍රිය ප්රවණතාවකි. එම ගෝලීය ප්‍රවණතාවයට අනුගතවෙමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී ස්ථාපිත කරනලද ස්වයංක්‍රීය ඊ-තොරතුරු පද්ධතිය මගින් අපනයන නිෂ්පාදන හා වෙළෙඳ පොළ තොරතුරු වැනි සේවා ඉතාමත් ඉක්මනින් ලබාගත හැකිවේ. තවද, අපනයනකරුවන්ට අවශ්‍ය වෙළඳ සංඛ්‍යා ලේඛන ලබාගැනීමේ අවස්ථාවද මෙමගින් සලසා දී තිබේ.
අදාළ පද්ධතිය හරහා ලබාගත හැකි තොරතුරු හා සේවා අතර, අපනයන ලියාපදිංචිය, වෙළෙඳ තොරතුරු, නිෂ්පාදන තොරතුරු, අපනයන සේවා, වෙළෙඳ පොළ තොරතුරු, ඊ-ව්‍යාපාරික අවස්ථා, සේවා ප්‍රකාශන, පුහුණු පාඨමාලා, උපදේශක සේවා සහ අපනයන බලපත්‍ර යන තොරතුරු මෙහිදී ලබාගත හැකි බව ඔවුහු පවසති. මෙම සේවාව අපනයන සංවර්ධන මණ්ඩලයේ බිම් මහලේ ඇතුල්වීමේ පරිශ්‍රයෙන් සතියේ දිනයන්හි සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8. 00 සිට පස්වරු 6.00 දක්වා ලබාගත හැකි බවද ඔවුහු වැඩිදුරටත් පවසති.