2012 වසරට සාපේක්ෂව 2013 තුන්වැනි කාර්තුව දක්වා සෘජු විදේශ ආයෝජනවල වර්ධනය 41% ක් බවත්, මේ දක්වා ඇ.ඩො.මිලියන 870ක් ඉක්මවූ සෘජු විදේශ ආයෝජන මෙරටට පැමිණ ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා සිටියේය.
"2012 වසරට සාපේක්ෂව 2013 තුන්වැනි කාර්තුව දක්වා සෘජු විදේශ ආයෝජනවල 41%ක වර්ධනයක් පවතිනවා. 2013 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඇ.ඩො.මිලියන 870ක් ඉක්මවූ සෘජු විදේශ ආයෝජන මෙරටට පැමිණ තිබෙනවා. 1978 සිට 2013 වසරේ තෙවැනි කාර්තුව වනවිට ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ලෙස ඇ.ඩො.මිලියන 9,397 ක් ලැබී තිබෙනවා.ඉන් 70% ක (ඇ.ඩො.මිලියන 6,619 ක) සෘජු විදේශ ආයෝජන මෙරටට ලැබී ඇත්තේ 2006 - 2013 තෙවැනි කාර්තුව දක්වා කාලය තුළයි."
"8% ක ආර්ථික වර්ධන වේගයක් මේ රටේ කිරීමට නම් අවම වශයෙන් ඇ.ඩො.බිලියන 3 ක සෘජු විදේශ ආයෝජන අපි මේ රටට ගෙනා යුතුයි. එසේ නොමැතිව 8% ක ආර්ථික වර්ධන වේගයක් ලබාගත නොහැකියි." යනුවෙන් අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ වනවිට වවුනියාව, කිලිනොච්චිය ඇතුළු ආයෝජන කලාප කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, කතරගම ප්‍රදේශයේ 'නයිට් බසාර්' එකක් ඇති කිරීමේ බලාපොරොත්තුවක් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.