අපේ සංස්කෘතිය ඇතුළු සියලු අංශ රැකගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතු බවත්, 2010 -2013 කාලසීමාවේ දී 72%කින් ආයෝජන වැඩි වූ බවත් රටේ 8%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන යාමට නම් විදේශ ආයෝජන වැඩි කර ගත යුතුව ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ සාදන ලද නියමයන් දෙකක් අනුමැතිය සඳහා ඊයේ (25දා) පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.
“2008 කලින් මේ වගේ ආයෝජන ආවාම ඒ ගැන මේ පාර්ලිමේන්තුවට කියන්න අවශ්‍ය නෑ. ආයෝජන ගිවිසුමක් ආයෝජන මණ්ඩලය අත්සන් කළා නම් ඒ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊට වැඩිය මොකක්ද එදා තිබුණු වරප්‍රසාදය. අද ඔබට මේ සියල්ල ගැන මෙතනට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. මෙම ගැසට්වලට විරුද්ධව පෙරේදා විරෝධතා සිදු කළා. 150ක් විතරයි හිටියේ. මහජනතාව විරෝධතාවලට එන්නේ නැහැ. 1988 දී එජාප රජය ඉදිරිපත් කළ සූදූ පනත යටතේ කැසිනෝ ව්‍යාපාරය ඇතුළු බොහෝ දේ ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ රජය යටතේ එවැන්නක් සිදුකර නැහැ.”
යෝජනාව ඉදිරිපත්කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “පළමු යෝජනාව ලෙස ජේ.එච්.කේ. හෝල්ඩින් සමාගමේ ව්‍යාපෘතිය සහ ක්‍රවුන් සමාගමේ ව්‍යාපෘතියට අදාළ නියමයන් ඉදිරිපත් කරනවා. මේ ගැසට් නිවේදන සඳහා මහජන විරෝධතා සඳහා දවස් 30යි දෙන්න ඕනෑ. දවස් 43ක් කල් දුන්නා. කිසිදු විරෝධයක් ඉදිරිපත් වූයේ නැහැ.
මේ වෝටර් ෆ්රන්ට් ව්‍යාපෘතිය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ ආයෝජනයක්. එය දේශීය සමාගමක්. එය සැම අංශයක්ම ශක්තිමත් කර තිබෙනවා. මේ සමාගම කොටස් වෙළෙඳ පොළේ විශාලතම සමාගම ලෙස ලැයිස්තු ගතව තිබෙනවා.
මේ ව්‍යාපෘතිය තුළින් රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා. ඉහළ මට්ටමේ සංචාරක මධ්‍යස්ථානයක් බවට රට පත්කිරීමට හැකි වෙනවා. අපට ඉදිරිපත් කළ ආයෝජන සලකා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට මේ මගින් අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර සමාගම් සමග කටයුතු කිරීමට මෙවැනි සමාගම්වල ආයෝජන රටට වැදගත් වෙනවා.
අපිට ඉදිරියට යාමට ආයෝජන අවශ්‍ය වෙනවා. චීනයෙන් පිටතට යන සංචාරකයින් තමයි ලොව ප්‍රධානතම සංචාරකයින් වන්නේ. චීනයේ තවමත් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙන්නේ 5% කට පමණයි. මේ සංචාරකයන් ඇ.ඩො.බිලියන 130ක් වැය කර තිබෙනවා. මේ වෙළෙඳ පොළ අපිට ඉතාම වැදගත් වෙනවා.
චීනයේ එක් සංචාරකයෙක් දළ වශයෙන් ඇ.ඩො.1,230ක් වැය කරනවා. මෙය තමයි සංචාරකයෙක් වැය කරන වැඩිම මුදල් ප්‍රමාණය. අපේ සංස්කෘතිය ඇතුළු සියලු අංශ ආරක්ෂා කරමින් සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. 2010 -2013 අතර 72%න් ආයෝජන වැඩි වුණා. 8%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන යාමට නම් විදේශ ආයෝජන වැඩි කර ගත යුතුයි.
දෙවැනි යෝජනාව ක්‍රවුන් සමාගම වෙනුවෙන් ඉදිරිපත් කරනවා. මේ සමාගම බහුවිධ ව්‍යාපාර පවත්වාගෙන යනවා. ප්‍රකාශන, ප්‍රචාරණ, චිත්‍රපට, විනෝද උපාංග, හෝටල් තොරතුරු තාක්ෂණ ආදී සමාගම් විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. ඔස්ට්‍රේලියාවේ විශාලතම සමාගමක් තමයි ක්‍රවුන් සමාගම. මෙයා ඔස්ට්‍රේලියාවේ තුන්වැනි ව්‍යාපාරිකයා ලෙසයි සලකන්නේ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.