ලොකු ළූණු හා එළවළු බීජ ආනයනය ඉදිරියේදී නවතා දමමින්, මෙරටදීම නිෂ්පාදනය කිරීමට කටයුතු සිදුකරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතා පවසා තිබේ.
පසුගියදා දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කලාපයට අයත් ගලේවල, වවුල්අඹේ, කිඹිස්ස, බෙල්ලන්මය, දඹුල්ල යන ප්‍රදේශවල ගොවි බිම් නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පවසා තිබේ.
ආනයනික ලොකු ළූණූ හා එළවළු බීජ නිසා තම වගාවන්ගෙන් විශාල පාඩුවක් ලබන බවත්, රජය මැදිහත් වී මීට වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙසත් මෙහිදී ගොවීන්ගේ ප්‍රධානම ඉල්ලීම වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ පිළිබඳ අදහස් දැක් වූ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයා, "බීජ ආනයනයට රජයට විශාල මුදලක් වැය වෙනවා. බීජ ආනයනය එකවරම නැවැත්වීමටත් නොහැකියි. ඊට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒ සඳහා රජය වැඩපිළිවෙළක් සකසමින් තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාතේ මාතලේ රිවස්ටන් ප්‍රදේශයේ ලොකු ළූණු බීජ මධ්‍යස්ථානයක් ඉදිකිරීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබෙනවා. අද වනවිට රජය ලොකු ළූණු, අර්තාපල්, වියළි මිරිස්වලට සහතික මිලක් ලබාදී තියෙනවා. ස.තො.ස. හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ඇති කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරගෙන යනවා " යැයි ද පැවැසීය.
මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ එන්.බී. දිසානායක, මහඉලුප්පල්ලම ක්ෂේත්රබෝග පර්යේෂණ ආයතනය, ගන්නොරුව උද්‍යාන බෝග පර්යේෂණ ආයතනය, දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය හා කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වී තිබිණි.