ලන්ඩනය බලා පිටත්වූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ ඇතිවූ දෝෂය ඉදිරිපස වීදුරැවේ ඇතිවූ සුළු පළුදු වීමක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
පසුගිය ජනවාරි 01 දා ලන්ඩනය බලා පිටත් වූ UL 503 යානයේ ඉදිරිපස වීදුරැවේ ඇතිවූ සුළු පළුදු වීම 'Jet cockpit window smashed at 35,000ft' යන සිරස්තලය යටතේ ලන්ඩනයේ 'සන්' පුවත්පත විසින් පළකර තිබූ වාර්තාව සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතාව නොමග යවන සුළු වූවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අවධාරණය කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ එදින ප.ව.14.35 ට කොළඹින් පිටත් වූ UL 503 යානය ගුවන්ගත කර මිනිත්තු 45ක් ගතවන විට යානයේ ඉදිරිපස වීදුරැවේ (windshield) යම් පළුදු වීමක් සිදුවුණු බවට ගුවන් යානයේ කාර්යමණ්ඩලය හඳුනාගෙන ඇති බවය. එම හදිසි තාක්ෂණික දෝෂය හේතුවෙන් යානය නැවත ආරක්ෂාකාරී ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට ගුවන් නියමුවන් කටයුතු කර ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
ගුවන් යානයේ ඉදිරිපස වීදුරැව ස්ථර තුනකින් සමන්විත වන බවත්, මෙහිදී පළුදු වීමට ලක්ව ඇත්තේ මධ්‍යම කොටස බව හඳුනාගෙන තිබුණු බවත් සමාගම පවසයි. මෙම ගුවන් යානයේ නිෂ්පාදකයන් පෙන්වාදී ඇති පරිදි මෙවැනි අවස්ථාවක ගුවන් යානය අඩි 10,000ක් පමණ පහතට ගැනීමට කටයුතු කළ යුතු අතර, ඒ අනුව ඉදිරිපස වීදුරැවට සිදුවන පීඩනය අඩුවන බව කියැවෙයි.
ඒ අනුව ගුවන් යානයේ මගීන්ගේ ආරක්ෂාව තහවුරැ කිරීම පිණිස ගුවන් නියමුවන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත්, UL 503 ගුවන් යානය ආරක්ෂාකාරී ලෙස එදින ප.ව.4.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා පළුදු වීමට ලක්වූ ඉදිරිපස වීදුරැව සකස් කිරීම සහ අනෙකුත් තාක්ෂණික පරීක්ෂණ සිදුකර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. ඒ දක්වා සිදුවූ ක්‍රියාවලියේදී කිසිදු ගුවන් මගියෙකුට අනාරක්ෂිතභාවයක් හෝ අපහසුතාවයක් ඇති නොවීමට ගුවන් නියමුවන් කටයුතු කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙහිදී වගකීමෙන් යුතුව කරැණු දක්වා සිටියි.
මේ වනවිට ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇති අතර, ඉදිරියේදී මෙවැනි අවස්ථාවලදී ගත යුතු වැඩිදුර ක්‍රියාමාර්ග පිළිබඳවද ගුවන් සමාගම අවධානය යොමු කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙන්නේ ඔවුන් අන්තර්ජාතික ගුවන් ආරක්ෂක ප්රමිතීන්වලට අනුකූලව කටයුතු කරමින් සෑම විටම උසස් සේවාවක් ලබාදීමට කටයුතු කරන බවය. නිරන්තරයෙන්ම මගීන්ගේ ආරක්ෂාව තහවුරැ කරමින් සුවපහසු ගුවන් ගමනක් ලබාදීමසඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී ඔවුන් අවධාරණය කරයි.