රන් භාණ්ඩ උකස් ණය ලබාගැනීම පහසු කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු ප්රදානය කරන රන් භාණ්ඩ උකස් ණය සඳහා රජය වෙනුවෙන් ණය ඇප ආවරණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
එම රන් භාණ්ඩ උකස් ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය වෙනුවෙන් ආරම්භක අරමුදල් ලෙස රු.මිලියන 500ක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වෙන් කිරීමටද මුදල් මණ්ඩලය අනුමත කර තිබේ.
2013 වසරේ මුල් කාලයේ සිට අනර්තාජාතික වෙළෙඳ පොළෙහි රත්ත්‍රන් මිල පහළ බැසීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ රන් භාණ්ඩ උකස් ණය ප්‍රමාණයෙහි සැලකිය යුතු අඩු වීම වලක්වාලීමට මෙම යෝජනා ක්‍රමය ඉවහල් වනු ඇති බව මහ බැංකුව පවසයි.
තවද, කෘෂිකාර්මික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශවලට අරමුදල් සපයා ගැනීමට රන් භාණ්ඩ උකස් ණය වැඩි වශයෙන් යොදා ගැනෙන බැවින්, එවැනි ආර්ථික ක්‍රියාවන්ට අරමුදල් සැපයීම සඳහා රන් භාණ්ඩ උකස් ණය අඛණ්ඩව එම ක්ෂේත්රයන්ට ගලා යා යුතු බවද මහ බැංකුව පෙන්වා දෙයි.
එසේම, රන් භාණ්ඩ වටිනාකමින් 65% ක් වූ උකස් ණය ප්රමාණය්ත ඊට අය කෙරෙන ඉහළ පොලි අනුපාතිකයත් උකස් ණය ප්‍රමාණය පහත වැටීමට තුඩු දී ඇති බවද මහ බැංකුව පවසයි.
නව ඇප ආවරණ යෝජනා ක්‍රමයට සහභාගි විය හැක්කේ රන් භාණ්ඩ වටිනාකමින් 80% ක උකස් ණය ප්‍රමාණයක් ලබාදෙන්නෙ නම් හා ඊට අය කරන පොලිය වර්ෂයකට 16% කට වඩා වැඩි නොවන්නේ නම් පමණක් බවත්, එමෙන්ම 1% ක වාර්ෂික ණය ඇප ආවරණ වාරිකයක්ද අදාළ බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
මෙම යෝජනා ක්රමයෙහි ප්‍රතිඵලයක් ලෙස රන් භාණ්ඩ උකස් ණය හරහා ආර්ථිකයේ ඵලදායී අංශ වෙත ණය ගලායාම ඉහළ නැංවීමට ණයලාභීන්ටත් ණය දෙන බැංකවලටත් හැකි වනු ඇති බවද මහ බැංකුව පවසයි.
රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බව පැවසෙයි.