ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා මැලේසියාවේ ඉහළ පෙළේ ආයෝජකයන් සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවත්, ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජකයන්ට යහපත් පරිසරයක් නිර්මාණයවීම ඉතා වැදගත් බවත් මැලේසියානු උප අග්‍රාමාත්‍ය ආචාර්ය අහ්මඩ් සයීඩ් හමීඩි පවසා සිටියේය.
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියානු උප අග්‍රමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ පසුගිය 22 වැනිදා පෙරවරුවේදී, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදීය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම හමුව සිදුවූ අතර, උප අග්‍රාමාත්‍ය ධුරට අමතරව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයද සයීඩ් හමීඩ් මහතා විසින් දරනු ලබයි.
මෙම හමුවේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන සංවර්ධන සැලැස්මක් ප්‍රකාශයට පත්කර ඇති බවය. එහිදී විදේශ ආයෝජකයන් සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.