බොස්ට්වානාහි නිපදවනු ලබන දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ ඍජුවම ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කිරීමට බොස්ට්වානා මහ කොමසාරිස් ලෙසගෝ එතෙල් මොසුමියෝ මහත්මිය සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (25දා) ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේදී පැවැත්විණි.
බොස්ට්වානාහි නිපදවනු ලබන මැණික් සහ ස්වර්ණාභරණ මෙතෙක් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන්නේ අප්‍රිකාව හරහා බව පැවසෙයි. බොස්ට්වානා සිට ඍජුවම ලංකාවට එම භාණ්ඩ ආනයනය කිරීම තුළින් තුන්වන පාර්ශ්වයකගේ මැදිහත්වීම මගහැරී යාම නිසා එහි වාසි දෙරටට හිමිවන බවත්, තවත් පැත්තකින් දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදාවන බවත් පැවසෙයි.
මෙම සාකච්ඡාවේදී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර එහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබුනේ, පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස ලංකාව තුළ පතල් කර්මාන්තය කරගෙන යන බවය.
පසුගිය වසර කිහිපය තුළ බොස්ට්වානාහි ආර්ථික, ආයෝජන සහ කාෂිකාර්මික අතින් ලත් ප්‍රගතිය පිළිබඳවද බොස්ට්වානා මහකොමසාරිස් ලෙසගෝ එතෙල් මොසුමියෝ මහත්මිය විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විස්තර කර ඇති අතර, අමාත්‍යවරයා ද එරට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සිය සතුට පළ කර තිබේ.
මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතා ඇතුළු රජයේ නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.