දැයට කිරුළ 2014 ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි ජංගම සේවා මගින් නොවිසඳී ඇති ගැටලුවලට විසඳුමක් ලබාදීම සදහා වූ දෙවැනි අදියර හෙට (10දා) ආරම්භ වන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 57ක ජීවත්වන ජනතාවගේ පොදු සහ පෞද්ගලික අවශ්‍යතා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම අරමුණු කරගත් ග්‍රාමසේවා වසම් 2,731කදී ප්‍රථම වටයේ දැයට කිරුළ ජංගම සේවා පවත්වා තිබිණි.
ප්‍රථම වටයේ ජංගම සේවා 2,731 සඳහා පොදු ගැටලු 85,970 ක්ද, පෞද්ගලික ගැටලු 1,049,487 ක්ද, ඉදිරිපත්වූ අතර ඉන් ගැටලු 36% ක් එම ස්ථානයේදීම මුළුමනින් විසඳූ බවත්, සෙසු ගැටලුවලින් 30% ක් පමණ සති කිහිපයකින් විසඳීමට හැකිවූ බවත් පැවසෙයි. ඒ අනුව, නොවිසඳී ඇති ගැටලු දෙවැනි වටයේ මැතිවරණ කොට්ඨාශ 31ක් තුළ පැවැත්වෙන ජංගම සේවා සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා රජයේ තීරණ ගතහැකි මට්ටමේ නිලධාරීන් සහභාගිවනු ඇති බවද අමාත්‍යවරයා පවසයි.
මැතිවරණ කොට්ඨාශ මට්ටමේ ජංගම සේවා ජනවාරි 10 ආරම්භ වී ජනවාරි 28 වැනිදා නිමාවට පත්වන බවත්, ඒ සඳහා ලක්ෂ 02කට ආසන්න පිරිසක් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් අමාත්‍යවරයා පවසයි. ප්‍රථම වටයේ ජංගම සේවා සඳහා ගැටලු ඉදිරිපත් කළ සංඛ්‍යාව 821,169 ක් බව ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළකළේ දැයට කිරුළ ජංගම සේවා දෙවැනි අදියර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම අමාත්‍යාංශයේදී පැවති දැයට කිරුළ නොවිසිඳී ඇති ගැටලු පිළිබඳ ප්‍රගති සමාලෝචනය සහ මැතිවරණ කොට්ඨාශ මට්ටමෙන් පවත්වන ජංගම සේවා පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීමේ රැස්වීමකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ දෙවැනි අදියර ජංගම සේවාවන්හි නිම නොවූ ගැටලු, පෙරබරවාරි 05 වැනිදා ආරම්භ වන දැයට කිරුළ ප්‍රදර්ශනයේදී පැවැත්වෙන අවසාන ජංගම සේවාවට ඉදිරිපත් කරන අතර, එයට අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් ඇතුළු ලේකම්වරුන් සහභාගී වන බවය.
දැයට කිරුළ ජංගම සේවය දෙවැනි වටයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවත්වන ස්ථාන හා දිනයන් මෙසේය.
ජනවාරි - 10දා කටුගම්පොල, 11දා නිකවැරටිය, 14දා මාවතගම, 15දා කුරුණෑගල, 16දා දොඩම්ගස්ලන්ද, 18දා පොල්ගහවෙල, 19දා යාපහුව, 20දා හිරියාල, 21දා පඬුවස්නුවර, 24දා බිංගිරිය, 25දා ගල්ගමුව, 26දා වාරියපොල, 27දා කුලියාපිටිය, 28දා දඹදෙනිය.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ දැයට කිරුළ ජංගම සේවා පවත්වන ස්ථාන හා දිනයන් මෙසේය.
ජනවාරි - 14දා නාත්තන්ඩිය, 20දා හලාවත, 16දා පුත්තලම, 25දා වෙන්නප්පුව සහ 23, 24 සහ 27 යන දිනවලදී ආණමඩුවේදී පැවැත්වේ.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ජංගමසේවා පවත්වන ස්ථාන හා දිනයන් මෙසේය.
ජනවාරි - 16දා දැරණියගල, 17දා අරණායක, 18දා කෑගල්ල, 20දා ගලිගමුව, 21දා රුවන්වැල්ල, 23දා වරකාපොළ, 24දා රඹුක්කන, 27දා යටියන්තොට සහ 28දා මාවනැල්ල වේ. මේ පිළිබදව වැඩි විස්තර අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවද අමාත්‍යාංශය පවසයි.
මෙම දැයට කිරුළ ජංගම සේවා පොදු වැඩසටහන් යටතේ මාතෘ සායන, සතිපොළ, බස්නැවතුම් පොළ, ආදානාගාර, සුළු වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, නව ඉදිකිරීම් සහ අලුත්වැඩියාවන්ද, පානීය ජලය සහ විදුලිබලය අලුතින් සහ නව දිගුකිරීම් ලබාදීමද සිදුකර තිබේ. එමෙන්ම පෞද්ගලික ඉල්ලීම් යටතේ රෝද පුටු, අත්වාරු, කිහිලිකරු වැනි උපකරණ ලබාදීමද නිවාස ආධාර සහ නිවාස වලට උළු ලබාදීමද, උප්පැන්න, මරණ සහ විවාහ සහතික, කෘෂිකාර්මික ධීවර සහ සත්ත්ව පාලන, ගෘහ කර්මාන්ත සඳහා පුහුණුව සහ ආධාර ලබාදිමද ජංගම සේවා මගින් සිදුකර තිබේ.
මෙම රැස්වීමට එස්.බී නාවින්න, අතාවුද සෙනෙවිරත්න, තිස්ස විතාරණ, රාජිත සේනාරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ටී.බී ඒකනායක, ෆීලික්ස් පෙරේරා, ජයරත්න හේරත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රංජිත් සියඹලාපිටිය, පවිත්‍රා වන්නිආරච්චි, දයාශ්රිරි තිසේරා යන අමාත්‍යවරුන්ද වයඹ ප්‍රධාන අමත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්ද, ලලිත් දිසානායක, ඉන්දික බණ්ඩාරනායක, ඇන්තනි පෙරේරා, නියොමාල් පෙරේරා යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද, ශාන්ත බණ්ඩාර, නිල්වලා විජේසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, දිස්ත්‍රික්ක තුනේ දිසා ලේකම්වරුන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්ද සහභාගී වූහ.