උතුරු පළාතේ ජීවත් වන ජනතාවගේ නිපුණතා පුහුණු අවශ්‍යතාවන්ට පහසුකම් සැලසීම සඳහා සහ කිලිනොච්චියේ ශ්‍රී ලංකා - ජර්මානු පුහුණු ආයතනය විසින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන්ට ඇතුළත් වීමට ඔවුන් සූදානම් කිරීම සඳහා ශ්‍රී ලංකා තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාශය විසින් දොන් බොස්කෝ තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය සහ විකලාංග පුද්ගලයන් පුනරුත්ථාපන කිරීමේ සංවිධානය යන රාජ්‍ය නොවන ආයතන ද්විත්වය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව පැවසෙයි.
2015 වනවිට නිම කිරීමට නියමිත කිලිනොච්චියේ ශ්‍රී ලංකා - ජර්මන් පුහුණු ආයතනය, ශ්‍රී ලංකා සහ ජර්මානු රජයන් අතර සහයෝගීතාවක් වන, ශ්‍රී ලංකා උතුරුකරයේ වෘත්තීය පුහුණුව, යන මුලපිරීමේ එක් අංගයක් බව කියැවෙයි.
මේ තුළින් ද්විතීයක අධ්‍යාපනයෙන් පසු පාසල් හැරයන්නන්, රැකියා විරහිත හෝ ඌන සේවා නියුක්තික තරුණ ප්‍රජාව, අවවරප්රසාදිත පසුබිමකින් එන තරුණ කොටස් හා යුධ වැන්දඹුවන් ඇතුළු විශේෂයෙන් ගැටුමෙන් බලපෑමට ලක්වූ ජන කණ්ඩායම් ඇතුළු උතුරු පළාත් ජනතාවගේ වෘත්තීය නිපුණතා පුහුණුව හා රැකියා අවස්ථා බොහෝ සේ වර්ධනය කෙරෙනු ඇති බවට අපේක්ෂිතය.
ජාතික වෘත්තීය සුදුසුකම් 3 හා 4 මට්ටම් පැවැත්වීම සඳහා සහ පූර්ණ ලෙස ක්‍රියාත්මකවීම ආරම්භ කළ පසු ශ්‍රී ලංකා - ජර්මන් පුහුණු ආයතනය විසින් පැවැත්වීමට නියමිත වඩාත් ඉහළ තලයේ සුදුසුකම් වන 5 හා 6 මට්ටම් සඳහා සිසුන් සූදානම් කිරීම සඳහා උතුරු පළාතේ පෝෂක පුහුණු මධ්‍යස්ථාන 8ක් මේ වනවිට හඳුනාගනු ලැබ ඇති බව පැවසෙයි. මේ පෝෂක පුහුණු මධ්‍යස්ථාන මගින් දැනට ජාතික වෘත්තීය සුදුසුකම් 5 හා 6 මට්ටම් හා සමපාත වන ඩිප්ලෝමා පහුණු වැඩසටහන් හයක් හා කර්මාන්ත පාඨමාලා හතරක් පවත්වාගෙන යනු ලබයි.
පෝෂක පුහුණු මධ්‍යස්ථාන විසින් පවත්වනු ලබන කර්මාන්ත පාඨමාලාවන්හි ගෘහස්ථ හා රැකියා පුහුණු වැඩසටහන් දෙඅංශයටම සහභාගීවන්නන්ගෙන් කැපී පෙනෙන ප්‍රමාණයක් කාන්තාවන් වන අතර එය 30% ට වැඩි ප්‍රතිශතයක් බව කියැවෙයි. වවුනියාවේ දොන් බොස්කෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ කර්මාන්ත පාඨමාලාවේ කාන්තා සහභාගීත්ව ප්‍රතිශතය 100% කි.
වවුනියාවේ පිහිටි විකලාංග පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට සහභාගී වන්නන්ගෙන් 70%ක් ආබාධ සහිත පුද්ගලයන් බව කියැවෙයි. මෙම ප්‍රදේශවල වෙනත් හැකියාවන් සහිත ජනතාව සමාජීය හා ආර්ථික වශයෙන් වඩාත් බලාත්මක කිරීමේ අරමුණින් මේ මධ්‍යස්ථානය ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් විශේෂයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන්නක් බවද පැවසෙයි.
ඉහත මධ්‍යස්ථානවලට අමතරව, කැනඩාවේ වර්ල්ඩ් යුනිවර්සිටි සංවිධානයේ සහයෝගයෙන් නැවත පදිංචි වූ ජනතාව අතර වෘත්තීය අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සඳහා කිලිනොච්චි, මුලතිවු හා වවුනියා දිස්ත්‍රික්කවල නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තුනක් හා පූර්ව අධ්‍යයන හඳුනාගැනීමේ මධ්‍යස්ථාන තුනක් ස්ථාපනය කර ඇත.