2016 වසර සඳහා වූ රජයේ අයවැය, අපනයන හිතකාමී අයවැයක් බවත්, සාම්ප්‍රදායික හෝ පැරණි ක්‍රමවේද හරහා රටක් දියුණු කළ නොහැකි අතර, රට දියුණු කිරීමට නම් අපනයනකරුවන්ට හිතකර ලෙස නීතිරීති සංශෝධනය විය යුතු බවත්, සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 7 වැනි අපනයනකරුවන්ගේ සංසදයේ සමාරම්භක දේශනය පවත්වමිනි. අපනයන ක්ෂේත්රයට අදාල අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මෙන්ම වාණිජ මණ්ඩල, අපනයනකරුවන් ඇතුළු සියලු අංශ නියෝජිතයින් එකම මේසයක සිට අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබාදීම මෙම සංසදයේදී සිදුකෙරේ. මෙම සංසද හමුව පසුගිය 27 වැනිදා කොළඹ 02, නවම් මාවතේ පිහිටි එම මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "2016 වසර සඳහා වූ රජයේ අයවැය, අපනයන හිතකාමී හොඳ අයවැයක්. දැනට අපගේ සමස්ත වාර්ෂික අපනයනය ඇ.ඩො.බිලියන 11 ක් පමණ වෙනවා. 2020 වන විට අප එය ඇ.ඩො.බිලියන 35 ක ඉලක්කයක් සැපිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙත් අප තව තවත් උනන්දු වන්නේ නම් එය ඇ.ඩො.බිලියන 50 ක ඉලක්කයට වුවත් ළඟාවිය හැකියි.
සාම්ප්‍රදායික හෝ පැරණි ක්‍රමවේද හරහා රටක් දියුණු කළ නොහැකියි. රටක් දියුණු කිරීමට නම් අපනයනකරුවන්ට හිතකර ලෙස නීති රීති සංශෝදනය වීම සහ ව්‍යාපාරික පරිසරය සැකසීම සිදුවිය යුතුයි. නව දිශානතීන් සොයා යා යුතුයි. දේශීය නිෂ්පාදන සන්නාමකරණය, නව තාක්ෂණය ආදේශ කිරීම, ඉහළ අන්දමින් අගය වැඩිකළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම වැනි දේ අප නිර්දේශ කරන්නේ ඒ නිසයි." යනුවෙන් පවසා සිටියේය.