ජනතාව මත පැටවෙන වක්‍ර බදු අඩු කරමින්, සෘජු බදු පැනවීමක් කරන්නේ යැයි වචන හරඹ කළද අවසානයේදී ජනතාවට බදු ගෙවීමට සිදුව ඇති බවත්, ඉලක්කම් දෙස බැලීමේදී එක දෙකවීම හෙවත් ජනතාවගේ සාක්කුවෙන් රු.ට්‍රිලියනය, රු.ට්‍රිලියන දෙකක් ලෙස ආණ්ඩුව සූරාගෙන ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.
වත්මන් රජය පසුගිය වසර කිහිපය තුළ බදු ආදායම් ඉලක්ක සපුරාගත් ආකාරය මෙන්ම, පෙරේදා (01දා) සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනතේ, සංශෝධිත බදු ක්‍රමවේදය පිළිබඳව 'අද' කළ විමසීමකදී හිටපු මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් මතු කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
බදු එක දෙක වුණාට ආදායම එමමයි
"බදු ආදායම් දෙස සමස්තයක් ලෙස බැලීමේදී, 2014 දී සියලුම බදුවලින් ශ්‍රී ලංකා රජය ලබාගත්තේ රු.බිලියන 1,000යි. එනම්, රු.ට්‍රිලියනයයි. එවකට ඒකපුද්ගල ආදායම ඇ.ඩො.3,900යි. නමුත්, මේ වසරේ, එනම් 2018 වනවිට ඒකපුද්ගල ආදායමේ වැඩිවීම ඇ.ඩො.3,900 සිට 4,000ට ආසන්න වෙලා. එය ඇ.ඩො.100ක වැඩි වීමක්වත් නොවෙයි. නමුත්, රජය ජනතාවගෙන් අය කරගන්නා සමස්ත බදු ප්‍රමාණය රු.ට්‍රිලියන 2ක් වෙලා. ඒ කියන්නෙ, ආදායම් උපයන මිනිස්සුන්ගෙන් එකට ෙදකක් බදු ගහලා. එකතු කළ අගය මත බදු, ආනයන බදු, නිෂ්පාදන බදු, ප්‍රාග්ධන ඉපයීම් මත බදු, ජාතිය ගොඩනැගීමේ බදු සහ අවසානයේදී ආදායම් බදු ආදී වශයෙන් මේ ඔක්කොම ගහල එක දෙක කරලා. එනම්, රජයේ ආදායම පියවා ගැනීමට ජනතාවට වගේම, ව්‍යාපාරවලට, සමාගම්වලට විශාල බරක් දරන්න වෙලා.
බදු ගසා සිදුකළ සංවර්ධනය මොකක්ද?
අඩුම තරමින්, මේ මුදල් අරගෙන ආයෝජනයක් කළා නම්, ඉන් දීර්ඝ කාලීනව රටට ප්‍රයෝජනයක් වන දෙයක් කළා නම් ගැටලුවක් නැහැ. නමුත්, දීර්ඝ කාලීන කිසිම ආකාරයක ආයෝජනයක් පෙනෙන්න නැහැ. සාමාන්‍යයෙන් පඩිනඩි ගෙවල, කාර්වලට තෙල් ගහල, අලුත් කාර් අරගන්නවා ඇරෙන්න ජනතාවගේ ඉදිරි ගමනට හෝ එදිනෙදා ජීවිතයට හෝ ප්‍රයෝජනවත් වන කිසිම දෙයක් නැහැ. සහන ඔක්කොම කපා දමලා. අධ්‍යාපනයට, සෞඛ්‍යට වෙන් කරපු මුදල් අඩු කරලා. මින් පෙනී යන්නේ සම්පූර්ණයෙන්ම අසාර්ථක ආර්ථික කළමනාකරණයක් කිව්වොත් නිවැරදියි.
රජයේ ආදායම් වැඩි කිරීමේ ජනතා වෑයම
ජනතාවගෙන් බදු ගැසීම මේ සියලු අසාර්ථක කළමනාකරණයේ එක ලක්ෂණයක් විතරයි. මම දකින්නෙ, මිනිස්සුන්ගෙන් එකට දෙකක් බදු ගහල, ඒ ඔක්කොම වැරදි වසා ගැනීමේ ක්‍රමවේදයක් විතරයි. අන්තිමට මේ ඉස්සරහට දානව ලස්සන කතාවක්, 'අපේ ආදායම වැඩිකර ගන්න ඕනෙ' කියලා. ඒත් ආදායම වැඩි කරන්නෙ මිනිස්සුන්ගෙ නම් ගැටලුවක් නැහැ. ඒත් මේ වැඩි කරන්නෙ රජයේ ආදායම. ඉතිං කියනව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වලු, ලෝක බැංකුව කිව්වලු, තව කවුරුහරි කිව්වලු, රජයේ ආදායම වැඩිකර ගන්න කියලා. රජයේ ආදායම වැඩි කරගන්න එක මහ ලොකු කජ්ජක් නෙමෙයි. ජනතාවගේ ආදායම වැඩි කරන එක තමයි දක්ෂකම. ඒ ආදායම වැඩි කරනව කියල නේද බලයට ආවෙ. ඒත් දැන් වෙලා තියෙන්නෙ, ජනතාවගේ ආදායමෙන් එකට දෙකක් සූරාගෙන රජයේ ආදායම වැඩි කරගෙන විතරයි. ඒක මහා ලොකු හපන්කමක් හැටියට රටට හැමදාම කියනවා. මම කලින් පෙන්වා දුන්න ආකාරයට ජනතාවගෙන් අය කරන සියලුම බදු වැඩි කරගෙන ගිහිල්ල අවසාන තුරුම්පුව හැටියට ඉතිරිවෙලා තිබුණෙ ජනතාවගේ ආදායම් බද්ද විතරයි. පෙරේදා (01දා) නව දේශීය ආදායම් පනත ගෙනල්ල සියලුම ආදායම් බදු වැඩි කරල ජනතාවට තවත් බරක් පැටෙව්වා. ඒ කියන්නෙ, අප්‍රේල් මාසෙ 01 වැනිදා ලොකූ තැග්ගක් අපේ ජනතාවට ලැබුණා.
පොලී අනුපාත වැඩි වීමේ ප්‍රතිවිපාක
අද රු.ලක්ෂ 42ක වාර්ෂික ආදායමක් ලබනවා නම් රු.ලක්ෂ 10ක් බදු ගෙවනවා. ඉතිං මේ බදු ගෙව්වට ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙයිද? ගෙවිගිය අවුරුදු තුනේදිත් අනෙකුත් බදු වැඩිකළා කියල ජනතාවට සහනයක් හෝ ප්‍රතිලාභයක් ලැබුණද? නැහැ. මොකද, බඩුමිල වැඩිවෙලා. පොලී අනුපාතය වැඩිවෙලා. ඉස්සර 10% - 11% ක නිවසක් මිලදී ගැනීමට පොලිය ගෙව්වා නම්, අද 18% - 19% ක් ගෙවනවා. වාහනයක් හෝ යතුරුපැදියක් ලිසිං කරන්න 14% - 15%ක පොලියක් ගෙව්වා නම්, අද 22%ක් විතර ගෙවනවා. ක්‍රෙඩිට් කාඩ් එකට 36෴ක් ගෙවනවා. මේ විදියට මිනිස්සුන්ට හැම පැත්තෙන්ම පීඩනය ඇවිල්ලා. ටෙලිෆෝන් එකෙන් කතා කළොත් බදු කැපෙනවා. කඩේට ගිහින් බඩුවක් ගත්තොත් බදු කැපෙනවා. දැන් ආදායමක් උපයනකොටත් බදු කැපෙනවා. අන්තිමට බලද්දි අපේ සියලුම ජනතාව තුන්ෙව්ල නොකා වැඩ කරල තියෙන්නෙ රජයේ පැවැත්මට. ඒක තවත් සාර්ථකව කරගන්න තමයි, මේ හැම කෙනෙකුටම බදු ලිපිගොනුවක් විවෘත කරල ආරම්භයක් ගන්නෙ.
විදේශ ශ්‍රමිකයන් අධෛර්යමත් කිරීම
විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ දේශීය බැංකුවක තැන්පත් කළ විට 5%ක රඳවා ගැනීමේ බද්දක් නව පනතින් හඳුන්වා දී තිබෙනවා. මෙවැනි බද්දක් මීට පෙර හඳුන්වාදී ඇති බවට බලධාරීන් මාධ්‍යයට කියා තිබුණත්, එවැනි බද්දක් මීට පෙර පැවතියේ නැහැ. මොකද කිසිම බද්දක් පනතකින් ඇරෙන්න ගේන්න බැහැ. ඒ නිසා තමයි, මේ අලුත් පනතකින් මේ බද්ද හඳුන්වා දීල තියෙන්නෙ. රුපියලක හෝ බද්දක් ගහනවා නම්, නිශ්චිත වාක්‍යයකින් පාර්ලිමේන්තු අනුමැතිය ලැබිය යුතුයි. පිට රටින් සල්ලි උපයල අපේ රටට එවන ජනතාවගේ කර පිටටත් බද්දක් ගහන කොට මේ ජනතාව තවදුරටත් රටට සල්ලි එවයිද? මේක එක පැත්තකින් ජනතාවට ලොකු පීඩනයක්.
ව්‍යාපාර වගේම රටේ වර්ධනය අඩපණ වීම
තවත් ලොකු හානියක් තමයි, මේකෙන් සියලුම ව්‍යාපාරිකයන් අධෛර්යයට පත්වෙනවා. වර්ධනය වෙමින් ආ ව්‍යාපාර කිරීමට පැවති ප්‍රවණතාව අඩපණ වෙනවා. පසුගිය වසර කිහිපය තුළදී රටේ වර්ධනය වේගය කඩා වැටීමටත් මේ බදු ගැසීම හේතු වී ඇති බව මගේ හැඟීමයි. 2014 දී 7.4% සිට 2017දී 3.1% දක්වා රටේ වර්ධනය වේගය අඩු වුණේ මේ තත්ත්වය නිසයි. අද සාමාන්‍ය ජනතාවට වගේම, ව්‍යාපාරවලට ගෙවන්න තියෙන බදු ප්‍රමාණය වැඩිවෙලා. ව්‍යාපාර දිගින් දිගටම ආයෝජනය කරන්නෙ ඔවුන්ට ලැබෙන ලාභය ඉතිරි කිරීමෙනුයි. ඔබට රු.100ක් ලාභය ලැබිලා, 12ක් බදු ගෙව්වොත් රු.88ක් ඉතිරි වෙන්නෙ ඊළඟ අවුරුද්දට ආයෝජනය කරල මුදල් උපයන්නයි. දැන් මේ නව බදු ක්‍රමවේදය නිසා රු.60යි ඉතිරි වෙන්නෙ. එතකොට ඒ ව්‍යාපාරයට යොදන මුදල අඩු වෙනවා. ඔවුන් අධෛර්යමත් වෙනවා. ඔවුන් රටේ වර්ධනයට දක්වන දායකත්වය අඩු වෙනවා.
මොන බදු ක්‍රමය වුණත් ඔබේ සාක්කුව හිස්
මම මුලින්ම මගේ තර්කය ගොඩනගද්දිම සඳහන් කළා වගේ, අපි වක්‍ර බදු අඩු කරල, සෘජු බදු වැඩිවෙනව කියල වචන හරඹ කලාට, මේ වෙලා තියෙන්නෙ එක දෙක වීමයි. වක්‍රවලින් ගැහුවත්, සෘජුවලින් ගැහුවත්, අන්තිමයට ජනතාවට තමයි බද්ද වැදෙන්නෙ. මොකද, සෘජු හෝ වක්‍ර හෝ කුමන ආකාරයකට හෝ ඔබේ මුදල් ටික රජය ඔබේ සාක්කුවෙන් ගත්තොත් ඔබට තියෙන වාසිය මොකද්ද? ඔබට තියෙන සතුට මොකක්ද? මොන ක්‍රමයට ගත්තත් සල්ලි ටික ගන්න එක තමයි මේ කරන්නෙ. මේ අය එක එක නම් ගහල ඇත්ත තත්ත්වය වෙනස් කරන්න හදන්නෙ. මොකද, සෘජු බදු ගැහුවට කමක් නැහැ, වක්‍ර බදු ගැහුවොත් තමයි ප්‍රශ්නෙ ආදී වශයෙන් බොළඳ කතා කියනවා. ඔය කතාවලට රැවටෙන්න එපා යැයි කියා මම ජනතාවට කියනවා. මොකද, අවසානයේ ඉලක්කම් බැලුවාම එක දෙක වෙලා. ඔබේ සාක්කුවෙන් ගිය රු.ට්‍රිලියනය, රු.ට්‍රිලියන දෙක වෙලා. එච්චරයි.
ජනතාවට අනවශ්‍ය කරදරකාර බදු
මේ සියලුම බදු මිනිස්සුන්ට අනවශ්‍ය බදු. මිනිස්සුන්ට කරදර කිරීමේ බදු. රටේ පවතින පොලී අනුපාතය අඩු කර ගත්තොත්, නිවැරදිව රටේ ආර්ථිකය කළමනාකරණය කරගත්තොත්, අනවශ්‍ය විශාල පරිමාණයේ මුදල් නාස්ති නතර කර ගත්තොත් මේ තරම් බදු බරක් ජනතාව මත පටවන්න අවශ්‍ය වන්නේ නැහැ. බැඳුම්කර වංචාව නිසා පොලී අනුපාතය කෘත්‍රිම ලෙස විශාල වශයෙන් වැඩි කර ගැනීමත් මේ තත්ත්වයට හේතුවක් බව සඳහන් කළ යුතුයි. කෙසේ හෝ ඉදිරි මහින්ද රාජපක්ෂ රජයක් යටතේ සමස්තයක් ලෙස ජනතාවගෙන් විවිධ ආකාරවලින් අය කරන සමස්ත බදු ප්‍රමාණයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි 20%ක් අඩු කිරීමට කටයුතු කරන බව මා අවසාන වශයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ සඳහා අවශ්‍ය නිවැරදි ආර්ථික කළමනාකරණ ක්‍රමවේද අප සතුයි" යනුවෙන් පැවසීය.