දෙරටෙහි කොටස් වෙළෙඳ පොළවල් අතර ආයෝජන අවස්ථා සහ සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ ඉන්දියානු ජාතික කොටස් වෙළෙඳ පොළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබෙයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සභාපති රේ අබේවර්ධන සහ ඉන්දියානු ජාතික කොටස් හුවමාරුවෙහි කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී වික්‍රම් ලිමායේ යන් මහත්වරුන් විසින් පසුගිය 03දා මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.
තොරතුරු, දැනුම සහ තාක්ෂණික හුවමාරුව සහ අනෙකුත් වාණිජමය පොදු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා අනාගතයේදී සමීපව කටයුතු කිරීම මෙහි අරමුණ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සභාපති රේ අබේවර්ධන මහතා පවසා සිටියේ, "දෙරටෙහි කොටස් වෙළෙඳ පොළවල් අතර දැනට පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමට මේ ගිවිසුම ශක්තිමත් අඩිතාලමක් වෙනවා. ජාත්‍යන්තර වශයෙන් ඉහළ පෙළෙහි කොටස් වෙළෙඳ පොළක් වන ඉන්දියානු ජාතික කොටස් වෙළෙඳ පොළ සමග සමීපව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලාංකේය කොටස් වෙළෙඳ පොළෙහි සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවනු ඇති” යනුවෙනි.