ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාවට වසර 70ක් සපිරීම සමරන ඡායාරූප ප්‍රදර්ශනය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා විසින් පසුගිය 13දා ගාල්ල, හෝල් ඩී ගෝල් හිදී විවෘත කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඔස්ට්‍රේලියාව දිගු කාලයක සිට සහයෝගය දක්වන අතර, ඔස්ට්‍රේලියානු ආධාර යටතේ මානුෂීය, සෞඛ්‍යය, අධ්‍යාපන සහ රැකියා ව්‍යාපෘති හරහා ශ්‍රී ලාංකිකයන් ලබා ඇති ප්රතිලාභ මෙම ප්‍රදර්ශනය තුළින් පිළිබිඹු වන බව කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රයිස් හචිසන් මහතා පවසා සිටියේ, "රජයේ සියලු මට්ටම්වලත්, සිවිල් සමාජයේත්, පෞද්ගලික අංශයේත්, රාජ්‍ය නොවන සංවිධානවලත් සහයෝගය මේ ව්‍යාපෘතිවල සාර්ථකත්වයට හේතු වුණා" යනුවෙනි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඔස්ට්‍රේලියාවේ අනාගත දායකත්වයද මෙම ප්‍රදර්ශනයෙන් විදහා දැක්වෙන බව ඔවුහු පවසති.
"අපගේ බොහෝ නව ව්‍යාපෘතීන් පෞද්ගලික අංශය හා සම්බන්ධ වී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, මේ හරහා නව්‍යතාවකින් යුතු වඩා යහපත් හා විශාල ප්‍රමාණයක රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමටත්, විශේෂයෙන් කාන්තාවන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇති" යැයි හචිසන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම ප්‍රදර්ශනය දෙසැම්බර් මස 13දා සිට 16දා දක්වා ගාල්ල, බාලදක්ෂ මාවත, හෝල් ඩී ගෝල් හිදී ජනතාව වෙනුවෙන් විවෘතව පවතී.