2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ගෙවීම සඳහා අමතර සහන කාලයක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඊට අදාළ නිවේදනය එම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුළ ප්‍රසිද්ධියට පත්ව තිබේ.
ඒ අනුව, 2020 පෙබරවාරි මාසය සඳහා සහ මාර්තු 20 වැනිදා ගෙවිය යුතු වූ සහ මාර්තු මාසය සඳහා 2020 අප්‍රේල් 20 දින ගෙවීමට නියමිත, මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ද ඇතුළු එකතු කළ අගය මත බදු ගෙවීම සඳහා 2020 අප්‍රේල් 30 දක්වා ඉඩ දීමක් සිදු වන බව එම නිවේදනයේ සඳහන් වෙයි.
එසේම ඉහත සඳහන් කාල සීමා සඳහා 2020 අප්‍රේල් 30 දින හෝ එදිනට පෙර කරනු ලබන ගෙවීම්, නියමිත දිනට කරනු ලබන ගෙවීම් සේ සලකනු ලබන බවත්, පද්ධතිය මගින් ඉහත සඳහන් කාල සීමා සඳහා ප්‍රමාද ගෙවීම් මත පනවනු ලබන දඬුවම් ඉවත් කරනු ලබන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව දැනට රට තුළ පවතින තත්ත්වය සලකා බැලීමෙන් අනතුරුව, සියලුම එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් වෙත, රේගුවේදී සහ ආයෝජන මණ්ඩලයේදී එකතු කළ අගය මත බද්ද විලම්භනය කිරීම, තාවකාලික එකතු කළ අගය මත බද්ද සහ එකතු කළ අගය මත බදු වාර්තා භාරදීම යන කරුණු සම්බන්ධයෙන් මෙම නිවේදනයේ විස්තර ඇතුලත් වෙයි.