ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පසුගියදා කසකස්තානයේ ඇස්ටානා හිදී පැවති PATA සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් සහ දෙරට අතර ආවේනික සමානකම් අත්විඳීමට සංචාරකයන් පොළඹවා ගැනීම අරමුණු කරගත් 'එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේෂනය කරන්න' (Two Cities, One Spirit) යන නමින් දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මෙම රන් සම්මානය හිමි වූ බව ඔවුහු පවසති.
PATA සම්මාන ප්රදානෝත්සවයේදී කලාපයේ චාරිකා හා සංචාරක ව්‍යාපාරයට අනුබල දෙන ව්‍යාපාර, ආයතන සහ නව මුලපිරීම් ඇගයීමට ලක්කර ඇති අතර, මෙම වසරේ සම්මාන උළෙල සඳහා ලොව පුරා ආකර්ෂණීය ප්රවේශයන් 197ක් සහ සංවිධාන 78ක් ඇතුළත්ව තිබී ඇත. මෙහිදී ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ, "මෙල්බර්න් සේවා දියත් කිරීම වෙනුවෙන් සිදුකළ මෙම අලෙවිකරණ ව්‍යාපාරය සඳහා තවත් ගෝලීය සම්මානයක් ලැබීම පිළිබඳව සතුටට පත්වෙනවා. එසේම මෙය ශ්‍රී ලංකන් සන්නිවේදන ප්රයත්නයන්හි විශ්වීය ආකර්ශනීය බව නැවත තහවුරු කිරීමක්ද වෙනවා. මෙමගින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකාව සිතියමෙහි ඉහළට ඔසවා තැබීමට ලැබීම විශාල ගෞරවයක්ද වෙනවා" යනුවෙනි.