ශ්‍රී ලාංකේය ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් සිය දායකත්වය ලබාදීමට මෙරට ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම, ප්රමුඛ පෙළේ වෙළෙඳ සන්නාම ඉදිරිපත් වීමත් සමග Positive Sri Lanka වැඩසටහන තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යමින් සිටින බව සඳහන් වෙයි.
මෙහි සාර්ථකත්වය පිළිබඳව Positive Sri Lanka වැඩසටහනේ පාර්ශ්වකරුවන් සහ මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
ඒ අනුව, මෙම සුවිශේෂී වැඩසටහන වෙනුවෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් වට්ටම්, විශේෂ දීමනා, නොමිලේ ප්‍රචාරණය මෙන්ම, සංචාරක ආකර්ෂණය දිනාගැනීම වෙනුවෙන් වෙළෙඳ සැල් වෙත ආකර්ෂණය කරගැනීමට විනෝද වැඩසටහන් ඇතුළු තවත් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරමින් ව්‍යාපාරිකයන් බොහෝදෙනෙක් මීට සිය දායකත්වය එක්කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රටේ ආර්ථිකය යළි නැංවීමට අවශ්‍යම මේ මොහොතේදී රට වෙනුවෙන් සහාය ලබාදීමට පෙළ ගැසෙන ලෙසය. එහිදී, Positive Sri Lanka සමග මෑතකදී එක්වූ ප්රමුඛ පෙළේ සන්නාම අතර Spa Ceylon, Ministry of Crab, Vision Care, Elephant House, Unilever, Munchee, Sri Lankan Airlines, Hemas, Kandy City Centre යනාදිය දැක්වෙයි . Positive Sri Lanka වැඩසටහනේ ප්‍රථම නිල දියත් කිරීම පසුගිය ජූනි 20දා කොළඹදී සිදුවූයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්රමුඛව, සමාගම් ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රධාන මූල්‍ය නිලධාරීන්, ප්‍රධාන අලෙවි නිලධාරීන් ඇතුළු ව්‍යාපාර නායකයන්, වෙළෙඳ ප්‍රජාව, විනොදාත්මක අංශ, බැංකුකරුවන්, ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ ව්‍යාපාරිකයන් රැසකගේ සහභාගීත්වයෙනි.
ලාභ නොලබන ව්‍යාපාරයක් වන මෙහි එකම ව්‍යාපාරික පරමාර්ථය වී ඇත්තේ මාස දෙකක පමණ කෙටි කාලයක් තුළ රට තුළ ආර්ථිකයට රු.බිලියන 90ක ආදායමක් එක් කිරීමය. විශේෂයෙන්ම, මෙරට ආර්ථිකය නැවත වරක් වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා තොග, සිල්ලර වෙළෙඳාම්, ක්‍රීඩා සහ විනෝදාස්වාද, විවේකාස්වාද, ගමන්බිමන් සහ සංචාරක, සත්කාරක සේවා, අධ්‍යාපන, සෞඛ්‍ය, සංස්කෘතික හා උරුමයන්, කලා, විලාසිතා හා සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්වය ලබාගැනීම තුළින් එම ආර්ථික සවිමත් බව තහවුරු කිරීමට ඔවුන් දැවැන්ත ප්රයත්නයක යෙදී සිටියි.
එහිදී, මේ වනවිටත් ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳ සංගමය, හෝටල් හා අවන්හල් සංගමය, SLAITO, CIMA යනාදී ප්‍රධාන ආයතන කිහිපයක් දැනටමත් තමන්ගේ සේවා හා පාරිභෝගික දිරිදීමනා පිළිබඳව අදහස් ඉදිරිපත් කර ඇත. එසේම, බොහෝ මුද්‍රිත මාධ්‍ය ආයතන සිය මාධ්‍යයේ ඉඩකඩ, විද්‍යුත් මාධ්‍ය ආයතන සිය ගුවන් කාලය, සමාජ මාධ්‍යවේදිකා අවකාශය නොමිලේ ලබා දීමට මෙන්ම, විශේෂ දැන්වීම්කරණ දීමනා ලබාදීමට කටයුතු කර තිබීම විශේෂත්වයක් බව ඔවුහු පවසති. එමෙන්ම, ප්රමුඛ පෙළේ හෝටල්ද මෙම කර්තව්‍යයට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර, බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ද මෙම වැඩසටහන ඔවුන්ගේ පරිශීලකයන් අතර ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් වෙයි.
මීට අමතරව, මෙය තවදුරටත් සක්‍රීය කිරීම වෙනුවෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ආකර්ෂණීය අවස්ථා අතර, හවුල්කරුවන් සමග සාප්පු සවාරි සහ ආහාර උත්සවයක්, කැන්ඩි සිටි සෙන්ටර් හිදී සහ ගාල්ලලේදී පවත්වන විලාසිතා දැක්මක් සහ දිවයින පුරා පවත්වන මාර්ග සංදර්ශන වැදගත් වන බව ඔවුහු පවසති. විශේෂයෙන්ම, පාරිභෝගිකයා තුළ උද්යෝගීමත් මනෝභාවයක් ගොඩනගමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය දායකත්වය ලබාගැනීමට ඔවුන් පෙළඹවීම සඳහා Positive Sri Lanka නිර්මාණය කොට ඇති බව ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම, මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ පිළිගත් සමාජ සේවා හවුල්කරුවකු වන Trail Sri Lanka සමග එක්ව පිහිටුවනු ලබන අරමුදල මගින් ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට දිගුකාලීන ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීමය. ඒ සඳහා රතු කුරුස සංවිධානය එම අරමුදල් අදාළ වින්දිතයන් වෙත ලබාදීමට මේ වනවිටත් එකඟත්වය පළ කර ඇති බවත්, මෙම ආධාර හදිසි වෛද්‍ය අවශ්‍යතා හෝ වියදම් සඳහා ලබාදෙන කෙටි කාලීන පරිත්‍යාග ලෙසද, ස්ථිර ආපදාවන්ට ලක්ව ඇති පුද්ගලයන් සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් ලෙසද ලබාදීමට සැලසුම්කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව, Positive Sri Lanka සමග එක්ව ඇති ආයතන සහ මෙම සුවිශේෂී ව්‍යාපෘතියෙහි කොටස්කරුවෙකු වීමට කැමති ආයතනයන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීමට www.srilankaispositive.com ඔස්සේ හෝ ඉන්ස්ටග්‍රෑම්හි Srilankaispositive වෙතද, SLispositive ෆේස්බුක් පිටුවට හෝ ට්විටර්හි PositiveLanka වෙතද පිවිසිය හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.