ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට වාසිදායක වන අයුරින් දැඩි විනිමය පාලන රෙගුලාසි සහ බදු බලපෑම්වලින් තොරව ශ්‍රී ලංකාවේ විශේෂිත ගිණුමක මුදල් තැන්පත් කිරීම සඳහා අවස්ථාව ලබාදෙමින් විශේෂිත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (09දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, විදේශ විනිමයෙන් තැන්පත් භාර ගන්නා NRFC ගිණුම්වලට 2% ක අතිරේක දිරිගැන්වීමේ පොලියක් ගෙවීමට පියවර ගන්නා බවයි.
"අපේ රටේ විදේශ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා, ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණයේ දිගින් දිගටම ඉහළ යෑම වැළැක්වීම සඳහා, රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගවල එක් ක්‍රියාමාර්ගයක් ලෙස මෙසේ විශේෂිත ගැසට් පත්‍රයක් නිකුත් වෙනවා.
ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ වෙනත් විදේශිකයන්ට වාසිදායක, විනිමය පාලන දැඩි රෙගුලාසිවලින් ලිහිල්ව, බදු බලපෑම්වලින් තොරව, විදේශවල රඳවා තබාගෙන තිබෙන මුදල් සහ තමන් සතුව තිබෙන අතිරික්ත මුදල් ශ්‍රී ලංකාවේ විශේෂිත ගිණුමක තැන්පත් කිරීම සඳහා ඉඩ ප්රස්ථා ලබාදෙන ගැසට් නිවේදනයක් නිකුත් වෙනවා.
විදේශ විනිමයෙන් තැන්පත් භාර ගන්නා NRFC ගිණුම් තියෙනවා. ඒ පොලී අනුපාතිකයට අතිරේකව රජය විසින්, මහ බැංකුව විසින් අතිරේකව දිරිගැන්වීමේ 2%ක පොලී ප්‍රමාණයන් ගෙවනවා. ඒ නිසා මේ ඉතා වාසිදායක තැන්පතු වර්ගයක් බවට විදේශිකයන්ට පත්වෙනවා. අවම වශයෙන් මේ අර්බුදකාරී වාතාවරණය තුළ මේ තැන්පතු මාස 06ක කාලයක්වත් ඒ ගිණුමේ රඳවා තබා ගැනීම අවශ්‍ය වෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.