මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සහ එය බලාත්මක වීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බලාත්මක කරනු ලබන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, නීතිපතිවරයාගේ මගපෙන්වීම ඇතිව කෙටුම්පත් කරන ලද MCC ගිවිසුම මෙසේ අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) යනු එක්සත් ජනපද කොංග්‍රසය විසින් 2004දී පිහිටුවන ලද ද්විපාර්ශ්වික එක්සත් ජනපද විදේශ ආධාර ඒජන්සියකි. දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ සිට ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට ගරු කිරීම දක්වා යහපාලනය සඳහා දැඩි ප්‍රමිතියක් සපුරාලන සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන් කාල සීමිත ප්‍රදානයන් සහ ආධාර සපයන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි MCC විසින් රජය සමග එක්ව ආර්ථික වර්ධනයට බාධා ඇති කරන ඉඩම් හා ප්‍රවාහන අංශ කෙරෙහි 2016දී විශ්ලේෂණයන් කළ බවත්, ඒවායෙහි නිගමනයන් අනුව කොළඹ අගනගරයේ රථවාහන තදබදය, පළාත් අතර ප්‍රවාහන සම්බන්ධතාව දුර්වල වීම සහ ඉඩම් පරිපාලනයේ දුර්වලතාව ආර්ථික වර්ධනයට බාධාවන් ලෙස හඳුනාගත් බවත් එම අමාත්‍යාංශය පවසා සිටියි.
ඒ අනුව ඉහත ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීම වෙනුවෙන් ඇ.ඩො. මිලියන 480ක ප්‍රදානයක් ලබාදීමට MCC එකඟ වූ බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
රජයේ නියෝජිත කණ්ඩායමක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු ඇතුළු තෝරාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ රජයේ ආයතනවල නිලධාරීන් සහ MCC නියෝජිත කණ්ඩායමක් අතර ගිවිසුම පිළිබඳ අවසන් සාකච්ඡා 2018 ඔක්තෝබර් මාසයේදී පැවැත්වූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එහිදී, සමස්ත ක්‍රියාවලිය හා අවසාන ගිවිසුම් නීතිපතිගේ මගපෙන්වීම යටතේ සහ නීතිමය රාමුව තුළ සිදුකළ බවත්, එය ක්‍රියාත්මක කිරීමට නෛතික බාධාවක් නොමැති බවත් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව ගිවිසුම්වල අවසන් කෙටුම්පත් සමග කැබිනට් සන්දේශයක් ඊයේ (31දා) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, වැඩිදුර කරුණු සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය කමිටුවක් පත් කළ බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම MCC ගිවිසුම සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා මුදල් අමාත්‍යාංශය විසින් 2019 ජූලි 05 වැනි දිනැති කැබිනට් සන්දේශය ඉදිරිපත් කළ බවත්, ඉහත ගිවිසුම් අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය 29 වැනිදා අනුමැතිය ලබාදී ඇති බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සහ එය බලාත්මක වීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බලාත්මක කරනු ලබන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කෙරෙන බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.