Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
ඇරිමැක් ඩිජිටල් (Arimac Digital) යනු නව්‍ය ඩිජිටල් විසඳුම් සහ නිෂ්පාදන සමාගමකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ලෝකයේ 'ඔස්කාර්' සම්මාන උළෙල බඳු වියට්නාමයේ පැවති 19 වැනි ජාත්‍යන්තර ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානය (APICTA) සම්මාන උළෙලේදී එම කලාපයේ රාජ්‍යයන් 16ක් අභිභවමින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත් කිරීමට පසුගියදා ඇරිමැක් ඩිජිටල් සමාගමට හැකිවූයේ, APICTA ඉතිහාසයේ එක් සමාගමක් විසින් දිනාගත් වැඩිම සම්මාන සංඛ්‍යාව දිනාගැනීමේ ගෞරවයද ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි. මේ ජයග්‍රහණ සමග ඔවුන්ගේ ගමන තවත් වේගවත් වී ඇති පසුබිමක ඇරිමැක් ඩිජිටල් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චමීර ජයසිංහ 'අද ව්‍යාපාරික පිටුව' සමග මෙසේ සිදුකරන කතාබහ, විප්ලවීය ඇරිමැක් ඩිජිටල් සමාගම සහ ඔවුන් ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට හෙළි පෙහෙළි කරන ඒ සුවිශේෂී නවමු ගමන්මග පිළිබඳවය.
1.) ඇරිමැක් ඩිජිටල් ආරම්භය ගැන හැඳින්වීමක් කළොත්?
2008 දී විතර මුලින්ම චින්තක, සහන්, සසිඳු, මොහාන් සහ මම (චමීර) අපි පුංචි කාමරයක පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි, අපේ ආරම්භය. අනතුරුව 2011 දී ඇරිමැක් ඩිජිටල් සමාගම බිහිවෙනවා. නිර්මාණශීලීත්වය සහ තාක්ෂණය එකතුවෙන් වඩාත් සුවිශේෂී නිර්මාණ බිහිකිරීම අපේ ඉලක්කය වුණා. ඒ සඳහා අලුත් පරම්පරාවේ තාක්ෂණයන් ගැන අප සොයා බැලුවා. අපේ ආරම්භය සේවා සපයන ආයතනයක්. මෘදුකාංග නිපදවීමෙන් පමණක් වෙළෙඳ පොළේ රැඳී සිටීමට නොහැකි බව අප තේරුම් ගෙන තිබුණා. වෙබ් අඩවි සහ මොබයිල් ඇප් නිර්මාණය අපේ මූලික අඩිතාලම වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ගෝලීය වශයෙන් නමක් දිනාගත් බහුජාතික සමාගම් රැසක් සමග අප වැඩ ආරම්භ කළා. මේ වනවිට වෙබ් අඩවි සහ මොබයිල් ඇප් 500කට වඩා අප අතින් නිර්මාණය වී තිබෙනවා. අපේ නිෂ්පාදන පරිශීලනය කරන පාරිභෝගික පිරිස මිලියන 200කට වැඩියි. ගෝලීය වශයෙන් අපි මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කැරීබියානු දූපත් සහ ඔස්ට්‍රේලියාව යන ස්ථානවල කටයුතු කරනවා.
තිලිණ ප්‍රේමසිරි සම්බන්ධ කරගෙන 'කම්පියුටර් ගේම්ස්' නිර්මාණයට අප සම්බන්ධ වන්නේ මේ අතරතුරයි. මෙය නිර්මාණශීලීත්වය සහ තාක්ෂණය කියන දෙකම එකතුව හැදෙන දෙයක්. මුලින්ම පර්යේෂණ රැසක් සිදුකරමින් පොඩි නිර්මාණවලින් පසුව 'කංචායුධ^ බිහිවීම දක්වා පැමිණියා. ඉන් පසුව ඉන්දික විජේසූරිය සම්බන්ධ කරමින් 'ඉමර්සිව් ටෙක්නොලොජි' පැත්තට අත තැබුවා. 'ගේම්ස්' හදන කෙනා වගේම මෙයත්, දැන් අපේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්. 'ඔග්මෙන්ටඩ් රියැලිටි', 'වර්චුවල් රියැලිටි', 'මික්ස්ඩ් රියැලිටි' ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ ගොඩක් වෙලාවට ප්‍රථම වරට හඳුන්වාදීම් සිදුකරමින්, ඒ ඔස්සේ ලෝකයට බොහෝ දේවල් ගෙනයෑමට අපට හැකිවුණා. ගෙවීම් ජාලයක් ලෙස සැලකෙන 'වීසා'හි 'ග්ලෝබල් ඉනොවේෂන්' මධ්‍යස්ථාන ඇතුළු ලොව ප්රමුඛ පෙළේ බහුජාතික සමාගම් තුළ අපේ තාක්ෂණයන් අද භාවිත වෙනවා.
'රොබොටික්ස්' ගත්තොත් අවුරුදු දෙකකට විතර කලින් ආරම්භ කළේ. අප මේ ක්ෂේත්රයේ බොහෝ ආයතන සමග වැඩ කළා. ඒ අනුව මේ ක්ෂේත්රයේ පැවති බොහෝ ප්‍රශ්න අප හඳුනා ගත්තා. නමුත් අපේ පර්යේෂණයන්හි සාර්ථකත්වය මත, අප සමාගම සතු 'ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට්' කණ්ඩායමේද දායකත්වය ඇතිව %දියසෙන්^ රොබෝ යන්ත්‍රය නිර්මාණය කිරීමට අපට හැකිවුණා. තව නොබෝ දිනකින් එය එළිදැක්වීමට නියමිතයි.
2.) පරිගණක සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව හොඳ තැනකද?
මම විශ්වාස කරන විදියට තවම මදි. රජයේ මැදිහත්වීම මත යම් ආරම්භයක් ලබාදී තිබුණත් මීට වඩා පුළුල් පැතිරීමක් අවශ්‍ය බව මගේ හැඟීමයි. අපේ 'කම්පියුටර් ගේම්ස්' නිර්මාණකරු ලෝකයේම අංක එක දෙක තැන ඉන්න කෙනෙක්. නමුත් මීට වසර පහ හයකට පෙර ඔහුට මුලින්ම පරිගණකයක් අතපත ගාන්නවත් අවස්ථාව ලැබුනේ මොරටුව විශ්වවිද්‍යාලයට ගියාට පසුවයි. දැන් තත්ත්වය තරමක් යහපත් කියල හිතන්න පුළුවන්. වත්මන් ජනාධිපතිවරයාත් ඒ වෙනුවෙන් යමක් කරයි කියල ලොකු විශ්වාසයක් තියෙනවා.
3.) ඇතැම් දක්ෂයන් රට හැර යනවා. බුද්ධි ගලනයට හේතුව කුමක්ද?
බුද්ධි ගලනයට පළමු වැනි හේතුව තමයි, ඔවුන්ට අවශ්‍ය පිළිගැනීම අපේ රටේදි ලැබෙන්නෙ නැහැ. ඔවුන්ට වැඩ කරන්න සමාගමක් හරියට නැහැ. තියෙන සමාගම්වල හරියට වේතනයක් නැහැ. සමාගම් පැත්තෙනුත් ඒකට අපිට දොසක් කියන්න බැහැ. ඔවුනුත් යම් යම් සීමාවන්ට යටත්ව තමයි, ඒවා පවත්වාගෙන යන්නෙ. මෙතනදි විදෙස් සමාගම් කරන්නෙ අපේ හොඳම මොළ ටික අරගෙන, ඔවුන්ව මැද්දෙන් තියලා, අපේ අය මහන්සි වෙලා වැඩ කරලා සොයාදෙන ලාභය එකතු කර ගැනීමයි. මේ දේ අප නැතිකළ යුතුයි. විදෙස්ගතව ඉගෙනුම ලබා පැමිණීම ගැටලුවක් නෙමෙයි. අපේ සමාගමේ අයත් උසස් අධ්‍යාපනයට විදෙස්ගත වෙනවා. ඒ සඳහා අපි අනුග්රහයන් පවා ලබාදෙනවා. ඒත් ආපහු ශ්‍රී ලංකාවටම එනවා. මොකද ලිඳේ ඉන්න ගෙම්බො වගේ ඉන්න ඕනෙ නැහැ. විදෙස් සංචාර, ප්‍රදර්ශන, අධ්‍යාපන චාරිකා ගියාට වරදක් නැහැ. බුද්ධි ගලනය නැවැත්වීම අප සමාගමේ ප්රමුඛ අරමුණක් වෙනවා.
අනෙක් කාරණය තමයි, කවුරුහරි යුරෝපීය රටක ගිහින් පින්තූරයක් දැම්මොත් අපේ අයත් හිතන්නෙ මාර දෙයක් කියලයි. ඒ හින්ද කොහොම හරි රට යනවා. හැබැයි ගියාට පස්සෙ තමයි දුක තේරෙන්නෙ. පස්සෙ ලැජ්ජාවටත් එක්ක එහෙටම වෙලා ඉන්නවා. අද අපේ රටේ හොඳ සමාගම් තියෙනවා. හොඳ රැකියාවක් සොයාගැනීම අපහසු නැහැ. ශ්‍රී ලංකාවේ ඉඳගෙන හොඳ රැකියාවක් කරන්න පුළුවන් කියන හැඟීමයි අවශ්‍ය වන්නේ. දකුණු කොරියාව වගේ රටක් ගත්තොත් ඔවුන්ගේ බොහෝ දේ සිදුවන්නේ ඒ රට තුළමයි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් දීලා, ජනතාවට ඒ ගැන නිසි අවබෝධයක් දීලා, ආකල්පමය වෙනසක් ඇති කරලා, ඕනෑම අයෙකුට තමන් බලාපොරොත්තු වන පිළිගැනීම දුන්නොත් ඒ රටේ බුද්ධි ගලනයක් සිදුවන්නේ නැහැ. අපෙත් විය යුත්තේ එයයි.
4.) අපේ අධ්‍යාපනයේ ප්රතිසංස්කරණයක් අවශ්‍යයි කියා ඔබ සිතනවාද?
මම හිතන්නෙ අපේ මිනිස්සුන්ගේ මොළය හොඳයි. මොකද මම බොහෝ රටවල ඉගැන්වුම් ක්‍රියාවලට සම්බන්ධ වෙනවා. එතනදි මම දැකපු දෙයක් තමයි, අපේ අයගේ මොළයට යමක් ගලායෑමේ ප්‍රතිශතය වැඩියි. අපේ ගණිතය, තර්ක ශාස්ත්‍රය, වගේම නිර්මාණශීලීත්වය ගත්තත්, ඔවුන්ගේ වේගවත් බව ගත්තත් වෙනත් රටවල අයට වඩා වැඩියි. ඇතැම් රටවල ළමයි දවස් 10කින් කරන දේ අපේ අය පැය දෙකෙන් කරනවා. අපේ ජානවලම යම් දෙයක් තියෙනවා කියල මම හිතනවා. හැබැයි අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීමක් සිදුවිය යුතුයි. මොකද අද වනවිට කටපාඩම් කිරීමෙන් ඔබ්බට අධ්‍යාපනය පුළුල් විය යුතුයි. විභාග පමණක් ඉලක්ක කිරීම ගැළපෙන්නේ නැහැ. අධ්‍යාපනය ලබන ගමන්, ප්‍රායෝගිකව ඒ දෙය අත් විඳින්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි.
අපේ සමාගම අලුතින් සේවකයෙක් බඳවා ගනිද්දි අධ්‍යාපන සහතිකවලට වඩා බලන්නෙ ඒ ළමයට වැඩ කරන්න පුළුවන්ද කියන එකයි. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පටන්, සාමාන්‍ය පෙළ අසමත් කෙනා දක්වා පිරිසක් අපේ වැඩ කරනවා. හැබැයි සාමාන්‍ය පෙළ අසමත් කෙනා අර කට්ටියට වඩා හොඳට කරන අවස්ථා තියෙනවා. මම හිතන්නෙ, මෙතනදි වැඩියෙන්ම වැදගත් වෙන්නෙ අපිට යමක් කිරීමේ මහත් ලැදිකමක් තියෙන්න ඕනෙ. ඕනෑකමක් තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
5.) තොරතුරු තාක්ෂණයට මුල්තැන දීමේ ප්‍රතිපත්තිය ගැන මොකද හිතන්නෙ?
තොරතුරු තාක්ෂණයට මුල්තැන දීම බොහොම හොඳයි. ශ්‍රී ලංකාවට එවැනි දෙයක් අවශ්‍යයි. ඒ වගේම අද මිනිස්සු තාක්ෂණික ලෝකයකම හිරවෙල ඉන්න නිසා, එතැනින් ඔවුන්ව මුදවා ගැනීමත් අවශ්‍යයයි. ඒ නිසා තොරතුරු තාක්ෂණය සමග 'ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට්', 'ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි' කියන දේත් අත්‍යවශ්‍යයි. මේක ගොඩක් කට්ටිය හිතන්නෙ නැති දෙයක්. තොරතුරු තාක්ෂණය සමග මිනිස්සුන්ගේ මනුස්සකම ආයෙත් එළියට ගන්නෙ කොහොමද කියන දේත් හිතන්න ඕනෙ. ආගන්තුක සත්කාරය අතින් ශ්‍රී ලංකාව අංක එකට තිබුණු රටක්. නමුත් වාණිජකරණය සමග බාහිර දේවල් ගෙඩි පිටින් ගිලින්න ගිහින් අපට අනන්‍ය වූ දේ අප අත්හැර යනවා. තාක්ෂණය ගැන පමණක් ඉලක්ක කළොත්, රොබෝවරුන්ට මේක දුන්නාම හරි. ඒ නිසා අපි ඒ සමගම මිනිසුන්ගේ හැඟීම්වලටත් කතා කළ යුතුයි. මෙතනදි නව ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයම පරිසර හිතකාමී වීම හොඳ දෙයක්. 'කාබන් නියුට්‍රල්' මැතිවරණ ව්‍යාපාරයක්. ඒ නිසා තාක්ෂණයට මුල්තැන දීම ආර්ථිකයට හොඳ දෙයක් වුවත්, මේ සියල්ල එකතු කරගැනීම ඊටත් වඩා යහපතක්, දියුණුවක් රටට උදාකරනු ඇති.
2025 දී වැඩියෙන්ම විකිණෙන රැකිය අතර තියෙන්නේ දකුණු මොළයෙන් වැඩ කරන රැකියාවන්. වම් මොළයේ රැකියා ඉදිරියේදී සම්පූර්ණයෙන්ම තාක්ෂණයට භාරදෙන්න පුළුවන්. මොකද කලාව කියන දේ හැමෝටම කරන්න බැහැ. 'ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට්' එකක් ගත්තත් එය යම් සීමාවකට යටත් වෙනවා. තාක්ෂණය කියන්නේ වම් මොළය. නිර්මාණාත්මක දේ හා බැඳුණු දකුණු මොළය සමග බැඳෙන දේවල්ද අප තාක්ෂණය සමග බද්ධ කරගත යුතුයි.
6.) ඉන්දියාවේ තාක්ෂණික දියුණුව සමග සැසඳීමේදී අපේ මට්ටම කුමක්ද?
ඉන්දියාවේ ජනගයනය බිලියන 1.3යි. අපේ මිලියන 20යි. ප්‍රමාණාත්මකව ඉන්දියාව අපිට වඩා හොඳයි කියල පේනවා. ඔවුන් පොඩි මෘදුකාංගයක් හැදුවත් එය මේ ජනගහනයෙන් බෙදී යනවා. ඒ වගේම, ඩබල් අයි.ටී. නාග්පූර් වගේ හොඳ විශ්වවිද්‍යාල ඔවුන්ට තියෙනවා. තොරතුරු තාක්ෂණ ලෝකයේ බොහෝ ප්‍රවීණයන් ඒ ඔස්සේ බිහිවෙනවා. ඒ වගේම, ඉන්දියානුවන් යම් තැනකට ගියපසු ඔවුන්ගේ අයට උදව් කරනවා. ඒ නිසා ඔවුන් කැපී පෙනෙනවා. ඒත් ඉන්දියානුන්ට වඩා අපේ අයගේ දක්ෂතා වැඩි බව මා අත්දැකීමෙන්ම දන්නවා.
අද ඉන්දියාව අවුරුදු ගාණනාවක ඉඳන් රොබෝ කෙනෙක් හදන්න උත්සාහ කරනවා. නමුත්, ඇරිමැක් ඩිජිටල් හි අපේ 'දියසෙන්' රොබෝ නිර්මාණය කර අවසන්. එහෙම බැලුවාම අපිට ඉන්දියාව සමග තරගයක් නැහැ. නමුත් දකුණු කොරියාව, චීනය වගේ රටවල් සමග අපට තරගයක් තියෙනවා. ඔවුන් 'ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට්', 'කම්පියුටර් විෂන්' වගේ පැතිවලින් බොහෝ ඉහළින් සිටිනවා. යටිතල පහසුකම් සමග ඔවුන්ට තියෙන අවස්ථා වැඩිවීමත් ඊට හේතුවක්. ඒත් මේ හැමෝටම වැඩිය හොඳම මොළය අපේ අයගේ තමයි.
7.) ඇරිමැක් ඩිජිටල් ලැබූ APICTA ගෝලීය ජයග්‍රහණය ගැන කතා කළොත්?
මේ තරගය ඔස්කාර් තරගය හා සමානයි. අවුරුදු 19ක් පුරාවට මේ කලාපයේ පැවැත්වෙන තරගයක්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අය බොහොම උනන්දුවක් දක්වන ජාත්‍යන්තර තරගාවලියක්. මම 2007 දී තමයි මුලින්ම මේ තරගාවලියට සම්බන්ධ වෙන්නේ. ශිෂ්‍යයෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් ජයග්රහනයක් කරලා, මම සිංගප්පූරු යනවා. එතනදි මට දෙවැනි ස්ථානය හිමිවෙන්නෙ, මගේ මෘදුකාංගය හොඳ වුණත්, මගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නොවූ නිසයි. අනතුරුව 2011 දී යළිත් මා තරග වදිනවා. ඉන් අනතුරුව අපේ සමාගම බිහිවුණාට පසුව මේ අවුරුද්දෙ තමයි අවසන් වරට අප අයදුම් කළේ. මෙවර APICTA ඉතිහාසයේ එක් ආයතනයකින් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් සමාගම බවට ඇරිමැක් ඩිජිටල් පත්වුණා. මෙය ශ්‍රී ලංකාව රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක්. Arimac Diayzen මානුෂීය රොබෝ, Arimac Mobile Money Platform, Arimac Augmented Reality Distribution Platform for Digital Marketing සහ WynkAR – The Immersive Marketing Platform ආදිය මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.
8.) ප්‍රබල රාජ්‍යයන් අභිභවා යෑමට ඔබ සමාගමේ වෙනස කුමක්ද?
අපේ සමාගම එකම ක්ෂේත්රයක් ඉලක්ක කරගෙන නැහැ. විදුලිසංදේශ, බැංකු, ගුවන් සහ පාරිභෝගික භාණ්ඩ යන ක්ෂේත්‍ර රැසක 'සොෆ්ට්වෙයාර්', 'ඔග්මෙන්ටඩ් රියැලිටි', 'ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට්', 'රොබොටික්ස්' ආදී විහිදුණු තාක්ෂණික විසඳුම් රැසක් අප විසින් ලබාදීම අපේ වෙනස සහ අපේ ජයග්‍රහණයේ රහසයි. ඒ වගේම මේ බොහෝමයක් රටවල් සමග අපට තරගයක් නැහැ. අපේ මෘදුකාංගවල ගුණාත්මකභාවය හා පරාසය බොහොම වැඩියි. අද ලෝකයේ බොහෝ ප්‍රබල රාජ්‍යයන්වල, ප්‍රබල බහුජාතික හා ජාත්‍යන්තර සමාගම්වල අපේ මෘදුකාංග ක්‍රියාත්මක වෙනවා.
9.) 'කම්පියුටර් ගේම්ස්' ආදී ක්ෂේත්රයන්හි අපට යා හැකි දුර කොපමණද?
'කම්පියුටර් ගේම්ස්' අංශයෙන් අපට ඉතා හොඳ අනාගතයක් පවතිනවා. 'සොෆ්ට්වෙයාර්' ගත්තොත් අපි යම් තැනක නවතිනවා. මේ ක්ෂේත්රයෙන් අපට කවදාවත් ඉන්දියාව අභිභවා යන්න අමාරුයි. දැවැන්ත ඉන්දියානු සමාගමක ලක්ෂ 3ක් විතර සේවය කරනවා. අපේ ලොකුම ආයතනයෙත් 10,000ක් විතර තමයි ඉන්නෙ. නමුත්, 'කම්පියුටර් ගේම්' එකක් ගත්තොත් මිනිස්සු 200කින් විතර සුපිරිම ගණයේ පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කරන්න පුළුවන්. 'ට්‍රිපල් ඒ' මට්ටමේ ක්‍රීඩාවක් හදන්න පුළුවන්. අපි තවම මේ ගැන පර්යේෂණ කරනවා. ශ්‍රී ලංකාව ඉස්සරහට යනවා නම්, 'ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට්', 'කම්පියුටර් ගේම්ස්', 'රොබොටික්ස් අයිපී' ආදියෙන් ඉස්සරහට යන්න පුළුවන්. BPO වගේ දේවල් කරලා ලොකුවට ඉදිරි ගමනක් නැහැ. හොඳ මෘදුකාංගයක් හදලා ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. එදා නවදෙනක් එකතු වෙලා හදපු 'වට්ස්ඇප්' අද බිලියන 40ක් වෙලා. අපේ මිනිස්සුන්ගේ තියෙන නිර්මාණශීලීත්වය සහ තාක්ෂණය කියන දෙකම එකතු කළාම 'කම්පියුටර් ගේම්ස්'වලින් අපට හොඳ අනාගතයක් තියෙනවා. ඇත්තටම අපට ඕන වුණේ හොඳ ගේම් එකක් හදලා මේ වෙළෙඳ පොළ විවෘත කරන්න. ඊට පසුව තවත් සමාගම් ඒකට විවෘත වේවි. අපේ 'ගේම්ස්' කණ්ඩායමේ 4 දෙනෙක් තමයි මෙරට ප්‍රමුඛතම තාක්ෂණික විශ්වවිද්‍යාලවල පරිගණක ක්‍රීඩා සම්බන්ධ විෂය නිර්දේශය පවා සකසන්නේ.
10.) විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගැනත් ඔබ ආයතනය හිතලා නේද?
ඔව්, 'හයිපර් - කැෂුවල්' ක්‍රීඩා භාවිත කරමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඇරිමැක් ඩිජිටල් සමාගම මගින් යමක් කිරීමට IMI Club කියලා වෙනමම ආයතනයක් පවා අප ඇති කළා. මෙය තවම පර්යේෂණ මට්ටමේ සිදුවන දෙයක්. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයෙකුත්, හාවඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරයෙකුත් සම්බන්ධ කරගෙන වෛද්‍ය විද්‍යාත්මකම අපේ කාර්යය ගැලපෙනවද කියන පර්යේෂණයේ අප යෙදී සිටිනවා. මමත් පෞද්ගලිකව භාවනාව පුරුදු කරන කෙනෙක් විදියට සිත පාලනය කිරීමෙන් ලැබිය හැකි බොහෝ ප්‍රයෝජනවත් දෑ පරිගණක ක්‍රීඩා තුළින් ලබාදීමට අප කටයුතු කරමින් සිටිනවා.
11.) ඇරිමැක් ඩිජිටල් ආයතනය තුළ පරිපාලනය හා සංස්කෘතිය කෙබඳුද?
අපේ වෘත්තීය ස්වභාවය හරි සරලයි. ඕන වෙලාවක එන්න පුළුවන්. ඕන වෙලාවක යන්න පුළුවන්. හැබැයි තමන්ගේ වැඩේ තමන් අවංකව කරන්න ඕනෑ. ඒ වගේම නිවාඩු බලන්නෙත් නැහැ. හැබැයි වැඩේ කළේ නැත්නම් පරණ සිංහල ක්‍රමයට තමයි දඬුවම්. අපේ 150ක පමණ කණ්ඩායමක් ඉන්නවා. ඒ පිරිස් පොඩි කණ්ඩායම් 50කට විතර වෙන් කරලා, ඔවුන්ට ඒ ඒ කාර්යයට අවශ්‍ය හැමදේම දීලා, ඒ වගකීම හා භාරකාරීත්වයත් දීලා ඔවුන්ව අතහරිනවා. ඊට පසුව සති දෙක තුනකින් පොඩියට නිරීක්ෂණය කළාම ඇති. අද ඉන්න පරම්පරාව ඉස්ස වගේ කොටු කරලා, තරවටු කරලා පාලනය කරන්න බැහැ. ඒ වෙනසට අපත් අනුගත විය යුතුයි.
ඒ වගේම අද කාටහරි හොඳ තාක්ෂණයක් නිර්මාණය කරන්න පුළුවන් වුණත්, ඒ තරුණයාට ඉංග්‍රීසි භාෂාව බැරිනම් දැනට තියෙන වාතාවරණය අනුව එයාට ඉස්සරහට යන්න අමාරුයි. මා කලින් සඳහන් කළ පරිදි මාත් ඒ දේ අත්වින්ඳා. ඒ නිසා ඉදිරි පරම්පරාවට එය නොවෙන්න කටයුතු කිරීම මගේ බලාපොරොත්තුවක් වුණා. ඒක තමයි ඇරිමැක් එකෙන් කරන්නේ. මෙතැන ඕනෑම භාෂාවක් කතා කරන්න පුළුවන්. ඕනෑම පළාතකින් එන්න පුළුවන්. හැබැයි ඒ ඕනෑම අයෙකුටම සම මට්ටමේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන් පරිසරයක් අපි නිර්මාණය කළා.
12.) අනාගත තාක්ෂණික විසඳුම් හා ඔබේ පෙරළිකාර නිෂ්පාදන මොනවාද?
'දියසෙන්' තමයි ජනවාරිවල එන්න තියෙන ලොකුම නිර්මාණය. ඊට පසුව 'ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට්' යොදාගෙන ලොකු නිර්මාණයක් අපි කරනවා. පහුගිය මැතිවරණය වෙලාවෙදි ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රධාන පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙනුවෙන් අපි මෘදුකාංගයක් කළා. තවත් ආයතනයක් විදේශයකින් මෘදුකාංගයක් ගෙනාවා. හැබැයි ශ්‍රී ලංකාවේ අපේ මෘදුකාංගය යොදාගත්ත රූපවාහිනී ආයතනයට පෙර කී අමෙරිකානු මෘදුකාංගය යොදාගත්ත රූපවාහිනියට කලින් මැතිවරණ ප්‍රතිඵල ලබාදෙන්න පුළුවන් වුණා. ඒක තමයි අපේ වෙනස.
13.) රැකියා ඉල්ලා උද්ඝෝෂණ නොකර, තරුණ්‍යය රටට වැඩදායී ලෙස යොදා ගන්නේ කොහාමද?
පාසලෙන් නොමිලේ අධ්‍යාපනය, නොමිලේ ඇඳුම්, සමහර වෙලාවට නොමිලේ ආහාර වේල, විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නොමිලේ ආදී වශයෙන් මේ හැමදේම දීලා අන්තිමට රස්සාවකුත් දෙන්න රජයක් බැඳිලා නැහැ. ඒක වැරදියි. ඒ නිසා අපිට හොඳටම කරන්න පුළුවන් මොනවද කියලා අපි බලන්න ඕනෑ. අද හරියට වඩු කර්මාන්තය කළත් හොඳ ආදායමක් ලබන්න පුළුවන්. එතනදි, තමන් කරන විෂය තුළ උපරිමයටම යෑම තමයි වැදගත්. එහෙම කළා නම්, ඔබේ සේවය ලබාගන්නා පිරිස් ඔබ පස්සෙන් එනවා. එකම දේ නම්, කවුරුවත් කරලා දෙනකල් බලාගෙන හිටියොත් මුකුත් වෙන්නේ නැහැ. මේක සමස්ත ජීවිතයටම වැදගත්. මේ සියලු දේ වෙනුවෙන් අපේ රටේ රජයේ සේවයේ සිට සියලු වැඩකරන ජනතාව තුළ මානසික වෙනසක් අවශ්‍යයයි. ඒ වෙනස ඇති කරගන්න අපි සූදානම් නම්, රටක් ලෙස අපේ දියුණුව අත ළඟයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd