ඉලක්කගත අයවැය, සංචිත නැංවීම, නම්‍යශීලී විනිමය අනුපාතය සමග දූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් යම් පසුබෑමක් පැවතියත්, රජයේ වැඩපිළිවෙළට සහාය දැක්වීමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ අවසන් ණය වාරිකය මුදාහැරීමට තීරණය කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඒ අනුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත වූ විස්තීරණ ණය පහසුකමේ අවසන් වාරිකය වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 164.01ක මුදල මුදා හැරීමට එහි විධායක මණ්ඩලය පෙරේදා (13දා) අනුමැතිය ලබාදී තිබේ.
කෙසේ වෙතත්, ශක්තිමත් ආර්ථික වර්ධනයක අවශ්‍යතාව පෙන්වා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රාජ්‍ය ආයතනයන්හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ වැදගත්කම මෙන්ම, මුදල් නීති පනතට සංශෝධන ගෙනඑමින් මූල්‍ය ආයතන අධීක්ෂණය හා නියාමනය, මූල්‍ය පද්ධතියට සිදුවිය හැකි බලපෑම් අවම කිරීම හා එහි ස්ථායීතාව ශක්තිමත් කිරීම සමග නම්‍යශීලී විනිමය අනුපාත ඉලක්ක අත්කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2016 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක විස්තීරණ ණය පහසුකම ලබාදීම සඳහා එකඟත්වයක් ඇතිකර ගත් අතර, මෙම ණය පහසුකම කොටස් වශයෙන් ලබාදෙන ලදී. ඒ අනුව, එහි අවසන් වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණත්, ඒ දිනවල රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එය තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
කෙසේ වෙතත්, ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන වැදගත් ප්‍රගතියක් බව පෙරේදා පැවති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එහි වැඩබලන සභාපති මිට්සුහිරෝ ෆුරුසාවා මහතා පවසා ඇත. එමෙන්ම, පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට හා ජනතාවට සිය ශෝකය පළකරන බවද ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ බලශක්ති මිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණය ක්‍රියාවට නැංවීම ආදිය පිළිබඳවද ශ්‍රී ලංකාවේ රජය අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබේ.